සුජානිගේ සෞඛ්‍යය සෝදිසි කිරීමේ අධිකරණ තීන්දුවක්

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හිමිකාරිත්වය දරන එන්.ආර්.කන්සල්ටන්සි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි සුජානි බෝගොල්ලාගමගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ එල්ල වී තිබෙන චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකාරිය අත් අඩංගුවට ගැනීමට අවශ්‍යව ඇති බවයි.

එහෙත් අත් අඩංගුවට පත්වීම වළක්වා ගැනීම සඳහා ඇය කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළු වී සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් සැකකාරියගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව පරික්ෂාකර වාර්තවක් කැඳවන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉල්ලීම පිළිගත් අධිකරණය සැකකාරියගේ සෞඛ්‍ය තත්වය ගැන පරික්ෂාකර බලා ඒ පිළිබඳ වාර්තාවක් ලබන සඳුදා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය.

මේ අතර අධිකරණය මගහැර විදේශගතව සිටින අදාළ සමාගමේ තවත් අධ්‍යක්ෂකවරියක් වන ඉරේෂා සිල්වා නමැත්තිය අත් අඩංගුවට ගැනීම සඳහාද මහේස්ත්‍රාත්වරයා ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තුවක් නිකුත් කළේය.

මේ අතර මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තුන්දෙනා ලබන සඳුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.