'මානව හිමිකම් භුක්තිය ප්‍රායෝගික විය යුතුයි'

'මානව හිමිකම් භුක්තිය ප්‍රායෝගික විය යුතුයි' Image copyright Getty Images

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වචනවලට සීමා නොවුණු සියලු ජාතීන් අතර සමාන අයිතිවාසිකම් සහතික කෙරෙන ප්‍රයෝගික එකක් විය යුතු බව උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කාන්තා සංවිධානයක් පවසයි.

මීළඟ ව්‍යවස්ථා සංශෝධනය හරහා තමන් බලාපොරොත්තු වන කරුණු සහ යෝජනා රජයටත් වගකිවයුත්තන්ටත් ඉදිරිපත් කළ බවයි'Women Action Network'හෙවත් කාන්තා ක්‍රියාකාරියන්ගේ සංගමයේ ප්‍රධානී ශ්‍රින් සරුන් කියා සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ සියලු ජන කොටස්වලට එකසේ ක්‍රියාත්මක වන බව වගන්තිවල හා පනත්වල සඳහන් වුවත් එවැන්නක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවයි කාන්තා ක්‍රියාකාරියන්ගේ සංගමය පවසන්නේ.

සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂාවන් වුවත් බොහෝ අවස්ථාවල එවැන්නක් ප්‍රයෝගිකව දක්නට නොලැබෙන බවද කාන්තා ක්‍රියාකාරියන්ගේ සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුස්ලිම් ප්‍රජාව සඳහා වෙනම අධිකරණයක්, නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට ඉඩ දී ඇති බැවින් විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් බරපතළ ගැටලුවකට මුහුණ පා සිටින බවද කාන්තා සංවිධානය පෙන්වා දී තිබේ.

ඊට අදාළ වගන්ති සහ පනත් සංශෝධනය නොකළහොත් දික්කසාද කෙරෙන මුස්ලිම් කාන්තාවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන වනු ඇති බව කාන්තා සංගමය පෙන්වා දෙයි.

ඉහත කී කරුණු සැලකිල්ලට ගෙන මීළග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී පොතට පමණක් සීමා වූ වගන්ති හා පනත් වෙනුවට සියලු ජනතාව ඉදිරියේ සර්ව සමානව සහ සාධාරණ ලෙස ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා රජයේ කැපවීම අපේක්ෂා කරන බව සිය සංගමය රජයට දන්වා ඇති බවත් කාන්තා ක්‍රියාකාරියන්ගේ සංගමයේ ප්‍රධානී ශ්‍රින් සරුන් වැඩිදුරටත් පැවසීය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්