ශ්‍රී ලන්කන් ගුවන් නියමුවාගේ වැඩ තහනම්

  • 2016 අගෝස්තු 21
ශ්‍රී ලන්කන් ගුවන් නියමුවාගේ වැඩ තහනම් Image copyright Getty Images

ජර්මනියේ ෆ්‍රැන්ෆර්ට් නුවර සිට කොළඹ බලා පසුගිය සිකුරාදා පියාසර කළ UL554 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයේ මෙහෙයුම් භාර ගැනීමට නියමිතව සිටි ගුවන් නියමුවා මද්‍යසාර පරීක්ෂණය අසමත් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය තහවුරු කරයි.

ඉහත කී ගුවන් නියමුවා ෆ්‍රැන්ෆර්ට් ගුවන් තොටුපල බලධාරීන් විසින් සිදු කරන ලද මද්‍යසාර පරීක්ෂණයෙන් අසමත් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ සමග ක්ෂණිකව ක්‍රියාත්මක වී අදාළ ගුවන් නියමුවාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.

අනතුරුව විකල්ප පියවර ගෙන ගුවන් යානය කොළඹ බලා පියාසර කිරීමට කටයුතු යෙදූ බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කියා සිටියි.

ඒ හේතුවෙන් UL554 දරන ශ්‍රී ලන්කන් යානය පැය පහළොවක් පමණ ප්‍රමාද වී ගුවන් ගමන ආරම්භ කොට ඇති බවත් වාර්තා විය.

අදාළ කාරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සබැඳි විෂයයන්

බීබීසී යෙන්