‘පේරාදෙණි ප්‍රහාරය නවක වධයේ තවත් දිගුවක්’

Image copyright university of peradeniya
Image caption පේරාදෙණිය සරසවිය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් කණ්ඩායමක් සම සෞඛ්‍යය විද්‍යා පීඨයේ දමිළ සහ මුස්ලිම් සිසුන් කණ්ඩායමකට පහර දෙනු ලැබීමත් සමඟ කිසිදු සිංහල ජාතිවාදී පසුබිමක් නොමැති අතර එය 'නවක වාදයේ තවත් දිගුවක්' හැටියට විග්‍රහ කළ හැකි බව එම විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍යය විද්‍යා පීඨයේ භෞත චිකිත්සක දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ආචාර්ය ෂ්‍යාම කුමාර බන්නැහැක පවසයි.

පසුගිය සඳුදා එල්ල කෙරුන ශිෂ්‍ය ප්‍රහාරයට ගොදුරු වූ , ආරක්ෂක හේතූන් මත සිය නම ප්‍රචාරය කරනු ලැබීමට අකැමැති එක් දමිළ ශිෂ්‍යයෙක් කියා සිටියේ තමන් අවස්ථා කීපයකදීම එක්තරා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායමකින් එල්ල වූ පීඩාවට ගොදුරු වූ බවයි.

එම ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කැඳවනු ලබන සාකච්ඡා ආදියට තමන් සහභාගී නොවීම හේතුවෙන් ඔවුන් තමන් සමඟ උරණව සිටින බවත් එම ශිෂ්‍යයා දීර්ඝ වශයෙන් විස්තර සහිතව බීබීසී සංදේශයට කියා සිටියේය.

'දවල් ආහාරයත් නෑ'

'දවල් ආහාර වෙලාවේ අපි පොදු කාමරයේ සිටියා. ඔවුන් ඇවිත් අපි එතැනින් එලෙව්වා. එතැන කෑම කන්න දෙන්න බැහැ කිව්වා. ඊට පස්සේ අපි කාර් පාරක් එකට ගියා. එතැනිනුත් අපි එලෙව්වා. එදා අපට දවල් ආහාරයත් නැති වුනා' එම ශිෂ්‍යයා පවසයි.

අනතුරුව තමන්ට එල්ල කෙරුණ ප්‍රහාරය දීර්ඝ වශයෙන් විතර කළ ඊට ගොදුරු වූ ශිෂ්‍යයා තුවාල ලද ශිෂ්‍යයන් කීප දෙනකු රෝහල්ගත කෙරුණ බවත් කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් බීබීසිය විසින් සිදු කළ විමසීමකදී ආචාර්ය ෂ්‍යාම කුමාර බන්නැහැක සඳහන් කළේ පහර දීමට සම්බන්ධ සිසුන් කීප දෙනකු හඳුනා ගෙන ඇති අතර පරීක්ෂණ සිදු වෙන අතරවාරයේ ඔවුන්ගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

'දෙවන වසරේ ශිෂ්‍යයන් කණ්ඩායමක් පළමු වසරේ ශිෂ්‍යයන් කණ්ඩායමකට පහර දී තිබෙනවා. ඒ කතාව ඇත්ත. පහර දීල තියෙන්නේ සිංහල සිසුන් කණ්ඩායමක්. පහර කෑමට ලක් වෙලා ඉන්නේ දෙමළ සහ මුස්ලිම් සිසුන්. එවැනි තත්වයක ඇතත් මම වගකීමෙන් කියනවා මේක ජාතිවාදී ගැටුමක් නොවන බව.' ආචාර්ය ෂ්‍යාම කුමාර බන්නැහැක බීබීසී සංදේශයට කියා සිටියේය.

යාපනය සරසවියේ සිද්ධියේ දී මෙන් මෙවරත් ඇතැමුන් පේරාදෙණියේ ප්‍රහාරයටත් ජාතිවාදී මුහුණුවරක් දීමට උත්සාහ ගත්තත් එය එවැන්නක් නොවන බවයි ඔහු සඳහන් කළේ.

මේ වන විට සරසවි පාලනය ප්‍රහාරකයන් සම්බන්ධයෙන් පියවර ගනිමින් ඇති අතර නවක වාදය හරහා සරසවි තුළට පහර දීමේ කලාවකුත් දැන් එක් වී ඇති බවයි ආචාර්ය ෂ්‍යාම කුමාර බන්නැහැක පෙන්වා දෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර