'යුද්ධයෙන් ආබාධිත වූ අපි ගැනත් බලන්න'

  • 2016 අගෝස්තු 24
Image caption 'රෝහලකට ගියත් අපිට හරිම අමාරුයි. හිටගෙන පෝලිමේ ඉන්න කියනවා'

යුද්ධයෙන් ආබාධිත වූවන් වෙනුවෙන් උතුරු නැගෙනහිර පලාත්වල විශේෂ පහසුකම් සලසන මෙන් හිටපු එල්ටීටීඊ සෙබළියක් ඉල්ලා සිටින්නීය.

යුද්ධයේදී සුෂුම්නාවට හානි සිදු වී දෙපා අකර්මන්‍ය වීම නිසා රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරන කවිදා සීවරත්නම් කියා සිටියේ රෝහලකට ගියත් බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙන බවයි.

'විශේෂ අවශ්‍යතා ඇති අප වැනි අයට රජයේ රැකියා අවස්ථා ලබා දෙන්න ඕන. අපි වගේ අයගේ දරුවන්ට අධ්‍යාපනය සඳහා ආධාර අවශ්‍යයි. රෝහලකට ගියත් අපිට හරිම අමාරුයි. හිටගෙන පෝලිමේ ඉන්න කියනවා. එහෙම නොකර විශේෂ වාට්ටු වැනි පහසුකම් ලබා දෙන්න. ජීවත් වෙන්න මාසික දීමනාවක් ලබා දෙන්න.' ඇය ඉල්ලීමක් කළාය.

Image caption තමා ඝාතනය කිරීමට පැමිණි එල්ටීටීඊ සාමාජිකයාට ද ජනාධිපතිවරයා සමාව දුන්නේය

කවිදා සීවරත්නම් මෙම ඉල්ලීම කළේ සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රතිචාරණ කාර්ය සාධක බලකාය ජනතා අදහස් විමසීම සඳහා එරාවූර් ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී යි.

1977 දී තම පියා ඝාතනයට ලක් වීමෙන් පසු 1991 දී සොහොයුරා ද අතුරුදහන් වූ නිසා තමන්ට එල්ටීටීඊ සංවිධානයට බැඳෙන්නට සිදු වූ බවයි ඇය ප්‍රකාශ කළේ.

යුද්ධය නිමා වී හත් වසරක් ගත වී ඇතත් තමන් වැනි ආබාධිතයන්ට කිසිවෙකුගේ පිළිසරණක් නොමැති බව ඇය පවසන්නීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර