ඩිල්ශාන් එක්දින සහ විස්සයි විස්ස තරඟ වලට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු, දක්ෂතම පිතිකරුවෙකු සහ පන්දුයවන්නෙකු වන තිලකරත්න ඩිල්ශාන් එක් දින ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව බීබීසී සංදේශයට පැවසීය.

දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි තරඟයෙන් පසු එක් දින තරඟ වලින් සමුගන්නා බව පැවසූ ඔහු කියාසිටියේ සැප්තැම්බර් 9 වැනිදා කොළඹදී පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරඟයෙන් පසු විස්සයි විස්ස තරඟ වලට ද සමුදෙන බවයි.

පසුගිය මාර්තු මාසයේ දී ඩිල්ශාන් පවසා තිබුණේ 'මට මෙහෙම පන්දුවට පහර දෙන්න හැකිනම් මම විශ්‍රාම යාමක් ගැන හිතන්නේ නැහැ, මම මගේ ක්‍රීඩාව තුලින් ආස්වාදයක් ලබනවා, ඉතින් විශ්‍රාම යාම ගැන මම හිතල නැහැ, මගේ රටට පුළුවන් තාක් කල් ක්‍රීඩා කිරීම මගේ අරමුණයි' යනුවෙනි.

එසේම 'හෙට උදේ නැගිටිලා මට හිතුනොත් මම විශ්‍රාම ගන්න ඕනේ කියල මම විශ්‍රාම ගන්නවා, හැබැයි තවම මට එහෙම හිතිලා නැහැ' යනුවෙන් ද ඔහු පවසා තිබුණි.

කෙසේවුවද අගෝස්තු 24 වැනිදා බීබිසියට වාර්තාවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන්ගේ ක්‍රිකට් ආනාගතය ගැන තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සුදානම් වන බවයි.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති දෙවැනි එක් දින තරගයේදීද 39 හැවිරිදි තිලකරත්න ඩිල්ශාන් අසාර්ථක වූ අතර ඔහු වෙනුවට තරුණ ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබෙන බවයි වාර්තාවූයේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්