යුද්ධය නිම වී අවුරුදු හතයි; තවමත් බෝම්බ කැබලි සිරුරේ

Image caption පී. සාරිතා කියාසිටියේ තම ඇස අසලත් කකුල්වල හා බෙල්ලේත් මෝටාර් උණ්ඩ කැබලි හතක් ඇති බව වෛද්‍යවරුන් සොයාගෙන ඇති බවයි.

කාලතුවක්කු,මෝටාර්,බෝම්බ හා වෙඩි උණ්ඩ වල කැබලි ශරීරයේ තබාගෙන වවුනියාව සහ යාපනය පළාත්වල පුද්ගලයින් 410 දෙනෙකු ජීවත්වන බවට පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් විසින් ඉදිරිපත් කළ එම සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම සංඛ්‍යාවෙන් 113 දෙනෙක් පාසල් සිසුන් බවටයි අනාවරණය වන්නේ.

උතුරු පළාත තුළ මේ අන්දමට දහසකට වැඩි පිරිසක් සිටින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා කිළිනොච්චිය, මුලතිවු හා මන්නාරම යන පළාත්වල තොරතුරු තවමත් ලැබී නැති බවද කියා සිටියි.

ශරීරය තුළ බෝම්බ කැබලි තබා ගෙන ජීවත් වන මේ පිරිස රෝගීන් බවට පත්ව සිටින නිසා වහාම රජය මැදිහත්වී ඔවුන්ට ප්‍රතිකාර කළ යුතුව ඇතැයි කී මන්ත්‍රීවරයා උතුරේ රෝහල්වල පහසුකම් නොමැති හෙයින් ඔවුන්ට බෝම්බ කැබලි ඉවත් කරගැනීම සදහා රුපියල් ලක්ෂ ගණනක් පෞද්ගලික රෝහල්වට ගෙවීමට නොහැකි බවයි පෙන්වාදෙන්නේ.

මුදල් නැහැ

මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට අනුව වවුනියාවේ සාස්ත්‍රීකූලංකුලම පළාතට ගිය අවස්ථාවේදී අපට හමුවුණු පී. සාරිතා කියාසිටියේ තම ඇස අසළත් කකුල්වල හා බෙල්ලේත් මෝටාර් උණ්ඩ කැබලි හතක් ඇති බව වෛද්‍යවරුන් සොයාගෙන ඇති බවයි.

මෝටාර් ප්‍රහාරය නිසා තම දකුණු ඇස අහිමි වී ගොස් ඇති බවත් ඇය පැවසුවාය.

ශරීරයේ ඇති සෙසු මෝටාර් කැබලි ඉවත් කිරීමට වවුනියාව රෝහලේ පහසුකම් නොමැති හෙයින් තමන්ට කොළඹ යන මෙන් වෛද්‍යවරු දැනුම් දුන්නද ඒ සදහා වැයවන මුදල් සපයා ගැනීමට නොහැකි බව ඇය කියා සිටියාය.

පෞද්ගලික ආරෝග්‍යශාලාවක දී ඇස ළඟ ඇති මෝටාර් කැබැල්ල ඉවත් කිරීමට රුපියල් පණස් දහසක මුදලක් ඉල්ලා සිටි බවත් බෙහෙත් සඳහා තවත් වෙනම මුදලක් අවශ්‍ය බවත් කී හෙයින් තමන් එම අදහස අතහැර දැමූ වග සාරිතා කියා සිටියාය.

Image caption එස්.කන්නන් පැවසුවේ තමන්ගේ කකුල් දෙකේ කාලතුවක්කු උණ්ඩ කැබලි එකොළහක් තිබී ඉන් හතරක් පමණක් ඉවත් කළ බවයි

වවුනියාවේ කූමාංකුලමේදී හමුවුණු එස්.කන්නන් පැවසුවේ තමන්ගේ කකුල් දෙකේ කාලතුවක්කු උණ්ඩ කැබලි එකොළහක් තිබී ඉන් හතරක් පමණක් ඉවත් කළ බවයි.

ඉතිරි කැබලි හත ඉවත් කිරීමට වවුනියාව රෝහලේ පහසුකම් නොමැති නිසා වසර නවයක් තිස්සේ තමන් පීඩාවිදින බව කී ඔහු තමන්ට දැන් කිසිදු වැඩක් කිරීමට නොහැකි බවද කියා සිටියේය.

කුමන හෝ රෝහලකට ඇතුළත් කොට තමන්ව සනීප කොට දෙන මෙන්ද ඔහු ඉල්ලා සිටියේය.

ශරීරය තුළ උණ්ඩ කොටස් තබා ගෙන ජීවත් වන අය පැවසුවේ යුද්ධයේදී දෙපාර්ශවය විසින් එල්ල කරගන්නා ලද ප්‍රහාර වලට තමන් මැදිවූ අවස්ථාවේදී ඔවුන් තුවාල ලැබූ බවයි.

එම ප්‍රහාර කවුරුන් විසින් එල්ල කරණ ලද ප්‍රහාරදැයි නිශ්චය වශයෙන්ම කිව නොහැකි බවද ඔවුහු කියා සිටියහ.

බීබීසී යෙන්