කොටු පනින විභාග වංචාකරුවන් නුවරඑලියේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කොටු පනින විභාග වංචාකරුවන් නුවරඑලියේ

වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණ වංචනික ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටි සිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නුවරඑලිය සිසු අයිතීන් සුරැකීමේ සංවිධානය අවධාරණය කරයි.

අධ්‍යාපන පහසුකම් ඉහළ මට්ටමක පවතින දිස්ත්‍රික්කවලට අයත් සිසු සිසුවියන් දුෂ්කර පළාතක් ලෙස සැලකෙන නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වංචනික ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවට නුවරඑලිය සිසු අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල වැනි දිස්ත්‍රික්කවලට අයත් උසස් පෙළ සිසුන් වංචනික ආකාරයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටින බව මීට ඉහතදී බීබීසී සිංහල සේවයට වාර්තා විය.

නුවරඑලිය දිස්ත්‍රික්කය තුළත් එවැනිම විභාග වංචාවක් සිදු වන බව පවසන නුවරඑලිය සිසු අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ගාමිණී සේනානායක එවැනි සිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි.

ඒ හේතුවෙන් සිය දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි වී ඇති බව පෙන්වා දෙන නීතිඥ ගාමිණී සේනානායක මෙම විභාග වංචාව වසර ගණනාවක සිට සිදු වෙමින් පවතින බවයි පවසන්නේ.

'වෛද්‍ය සිහිනය'

වෙනත් දිස්ත්‍රික්කවලට අයත් සිසු සිසුවියන් වංචනික ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටීම හේතුවෙන් තමාට වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමේ අවස්ථාව අහිමි වූ බව උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක් වන නිමාදී සවීන්තනි සඳහන් කළාය.

අදාළ වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අසාධාරණයට ලක් වූ සිසු සිසුවියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.

ඉහත කී චෝදනාව සම්බන්ධයෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන්ගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව හයසිය ඉක්මවිය හැකි බවයි.

නීති විරෝධී ලෙස විභාගයට ඉදිරිපත් වූ එවැනි සිසු සිසුවියන්ගේ අනාගතය පිළිබඳ අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සබැඳි විෂයයන්