ජනපති නියෝග 'පොලිසිය උල්ලංඝනය කරලා'

Image copyright Getty Images
Image caption ජනපති නියෝග උල්ලංඝනය කරන බවට පොලිස් ත්‍රස්ත මර්ධන ඒකකයට චෝදනා

ජනාධිපතිවරයා සහ මානව හිමිකම් කොමිසම නිකුත් කළ මාර්ගෝපදේශ උල්ලංඝනය කරන බවට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවා සිටින සැකකරුවන් පූර්ව අනුමැතියකින් තොරව නීතිවේදීන්ට හමුවිය හැකි බවට ජනාධිපතිවරයා සහ මානව හිමිකම් කොමිසම නිකුත් කළ මාර්ගෝපදේශවල සඳහන් වන බවයි පෙත්සම්කරු පවසන්නේ.

එහෙත් එම පොලිස් ඒකකයේ රඳවා සිටින අයියතුරේ මෝහනදාස් නමැති සැකකරු හමුවීමට අවස්ථාව සලසාදීම එම කොට්ඨාශයේ නිලධාරින් විසින් මසකට ආසන්න කාලයක් ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් නීතිවේදී ලක්ෂාන් ඩයස් ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන්.

'වෙනම රාජ්‍යයක්?'

එබැවින් ජනාධිපතිවරයා සහ මානව හිමිකම් කොමිසමේ මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බවට පෙත්සමෙන් පොලිසියට චෝදනා කර තිබේ.

"මේ තුලින් ත්‍රස්ත මර්ධන කොට්ඨාශය වෙනම රාජ්‍යයක කොටසක්ද කියා අපිට සැකයක් ඇතිවෙනවා. මේ තත්වයට පොලිස්පතිවරයා මුළුමනින්ම වගකිව යුතුයි," නීතිවේදී ලක්ෂාන් ඩයස් පැවසීය.

ත්‍රස්ත මර්ධන කොට්ඨාශයේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.

පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර අධ්‍යක්ෂවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්