'එල්ටීටීඊ ප්‍රබලයන් ආරක්ෂක බලධාරීන්ට මුදල් ගෙවලා'

"තමන්ගේ අතුරුදහන් වූ දරුවා, ස්වාමි පුරුෂයා, සහෝදරයා ඉන්නවද නැද්ද, නැත්නම් මොකක්ද වුනේ, මැරුණද එහෙම නැත්නම් පිටරට ගිහිල්ල හැංගිලා ඉන්නවද කියන කාරණය මේ හරහා හොයල බලන්න පුළුවන්" Image copyright Getty Images
Image caption "තමන්ගේ අතුරුදහන් වූ දරුවා, ස්වාමි පුරුෂයා, සහෝදරයා ඉන්නවද නැද්ද, නැත්නම් මොකක්ද වුනේ, මැරුණද එහෙම නැත්නම් පිටරට ගිහිල්ල හැංගිලා ඉන්නවද කියන කාරණය මේ හරහා හොයල බලන්න පුළුවන්"

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ එවකට සිටි ප්‍රධානියකුට මුදල් ලබා දී විදෙස් ගත වූ දෙසීයකට අධික එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් අතුරුදහන් වූවන් ලෙස ලැයිස්තු ගත කොට ඇති බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර පවසයි.

2009 වසරේ යුද්ධයේ අවසන් සතියේ එලෙස විදෙස් ගත වූ පිරිස අතර එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබලයන් ද සිටින බව කියා සිටි විදේශ අමාත්‍යවරයා අතුරුදහන් වූවන්ගේ කාර්යාලය මගින් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගත හැකි වනු ඇති බවයි සඳහන් කළේ.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම සහ සංහිඳියාව ගොඩ නැගීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී.

"තමන්ගේ අතුරුදහන් වූ දරුවා, ස්වාමි පුරුෂයා, සහෝදරයා ඉන්නවද නැද්ද, නැත්නම් මොකක්ද වුනේ, මැරුණද එහෙම නැත්නම් පිටරට ගිහිල්ල හැංගිලා ඉන්නවද කියන කාරණය මේ හරහා හොයල බලන්න පුළුවන්"

"මොකද මම දන්නවා එල්ටීටීඊ සංවිධානයේ දෙසීයකට වැඩි පිරිසක් යුද්ධයේ අවසන් සතියේ විශාල වශයෙන් මුදල් අතමාරු කර ගෙන පිටරටවලට යැව්වා. එල්ටීටීඊයේ ප්‍රධානීන් පවා එතන සිටියා.''

'හමුදාව පාවා දෙන බවට චෝදනාවක්'

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ විපක්ෂයේ ඇතමුන් වැරදි මත ජනගත කරන බව පැවසූ විදේශ අමාත්‍ය මංගල සමරවීර අතුරුදහන් වූවන්ගේ කාර්යාලය මගින් හමුදා සාමාජිකයන් පවා දෙන බවට නගන චෝදනා සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

Image copyright Getty Images
Image caption ''එල්ටීටීඊ සංවිධානයේ දෙසීයකට වැඩි පිරිසක් යුද්ධයේ අවසන් සතියේ විශාල වශයෙන් මුදල් අතමාරු කර ගෙන පිටරටවලට යැව්වා.''

"හමුදාව පාවා දෙනවලු. ඒ කියමන තමයි හමුදාව පවා දෙන ලොකුම සටන් පාඨය. මොකද අතුරුදහන් වූවන් ගැන සෙවීමෙන් හමුදාව පාවා දෙනවා කියලා කියනව නම්, ඒ කියන්නේ මේ අය ලෝකෙටම කියනවා අතුරුදහන් කිරීම් පිටුපස ඉන්නේ හමුදාව කියලා. නමුත් අපි දන්නේ නැහැ අතුරුදහන් වීම් පිටුපස කවුද ඉන්නේ කියලා"

ඉහත කී වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස සත්‍ය සෙවීමේ ආයතනයක් මේ වසර අවසානයට පෙර පිහිටුවීමට උත්සාහ කරන බවද විදේශ අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය.

'විදෙස් විනිසුරන්'

"ඒ ගැන ජනතා අදහස් දැන ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ අදහස් එකතු කරලා ඔක්තෝබර් මාසයේ අළුත් පනතක් හැටියට එය ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අයවැය විවාදයට පෙර ගෙන ඒමට නොහැකි වුනොත් ජනවාරි මාසේ ගෙන එන්න බලාපොරොත්තු වෙනවා"

වැරදි සිදු වී ඇති බවට හෙලි වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට දේශීය අධිකරණ යන්ත්‍රණයක් පිහිටු වන බව කියා සිටි විදේශ අමාත්‍යවරයා ඒ සඳහා කිසිසේත්ම විදේශ විනිසුරන් සම්බන්ධ නොවන බව අවධාරණය කළේය.

"දේශීය අධිකරණ යන්ත්‍රණයක්, නමුත් එක කොහොමද කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියල හිතන්න තාමත් වේලාසන වැඩියි."

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට ගෙන යන රජයේ වැඩපිළිවෙළ සඳහා මාධ්‍ය ආයතනවලද සහාය අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනතාව නොමග යවන අන්තවාදී අදහස්වලට විශාල ප්‍රසිද්ධියක් ලබා නොදෙන ලෙසද මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්