ප්‍රගීත් පැහැර ගැනීම: 'බුද්ධි අංශ සම්බන්ධ බවට සාක්ෂි'

  • 2016 අගෝස්තු 30

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ බව ඔප්පු කළ හැකි සාක්ෂි රැසක් මේ වන විට ලැබී තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේය.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් තුන්දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදීයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මේ බව ප්‍රකාශ කළේ.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙදී එවකට පොදු අපේක්ෂක හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රචාරක කටයුතු භාරව ප්‍රගීත් එක්නැලිගොඩ කටයුතු කළ බවයි.

'කාටුන් චිත්‍රයක් මුල් වෙලා'

ජනාධිපතිවරණයට අදාලව ප්‍රගීත් විසින් කාටුන් චිත්‍රයක් සකස් කළ බව පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල් වරයා එම කාටුන් චිත්‍රය ප්‍රගීත් පැහැර ගැනීමට මුල්වී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වූ බවයි කියා සිටියේ.

මෙහිදී කොටි සාමාජිකයන් ලෙස පෙනී සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු ප්‍රගීත් එක්නැලිගොඩ සමග කිසියම් හිතවත්කමක් ගොඩනගාගෙන තිබූ අතර එම පුද්ගලයන් රාජගිරිය ප්‍රදේශයේදී එක්නැලිගොඩ පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරට ගෙන ගොස් තිබූ බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කරුණු හෙළි කළේය.

ගිරිතලේ හමුදා කඳවුරේ දී වග උත්තරකාර බුද්ධි අංශ සාමාජිකයන් විවිධ පුද්ගලයන්ගේ ඡයාරූප පෙන්වමින් ප්‍රගීත් එක්නැලිගොඩ ගෙන් ප්‍රශ්න කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයිද රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුර විභාගයක් එළඹෙන ඔක්තොම්බර් 03 වෙනිදාට පවත්වන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.