'මම ආවේ අඳුරෙන් එළියට එන ලංකාව දකින්න'

Image caption මූන් යුවළ ගාලු කොටුවේ

තමන් මෙවර පැමිණියේ ශ්‍රී ලංකාව අඳුරු කාලපරිච්ඡේදයෙන් ඉදිරියට පැමිණි ආකාරය දැක ගැනීමට බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කි මූන් පවසයි.

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ පසු තමන් 2009 වසරේදී ද ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව මහ ලේකම්වරයා සිහිපත් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ 'සංහිඳියාව සහ සහජීවනයේ දී තරුණ පරපුරේ භූමිකාව' යන මැයෙන් පැවැත්වුණු තරුණ සමුළුව අමතමිනි.

ජාතික සමගිය හා සංහිදියාව කාර්යාංශය සංවිධානය කර තිබූ මෙම තරුණ සමුළුවට සාමය, සංහිඳියාව හා සම්බන්ධ වැඩසටහන් වලට ක්‍රියාකාරිව සම්බන්ධව සිටි තරුණ තරුණියන් පිරිසක් එක්ව සිටියෝය.

තරුණ ප්‍රජාව

සංහිඳියාව හා සහජීවනය ඇති කිරීමට තරුණ ප්‍රජාව සම්බන්ධ වීමේ වැදගත් කම අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඉහත කී සමුළුව ඇමතුවේය.

ලෝකයේ තරුණ ප්‍රජාව මුළුමනින් ම පාහේ ජාතිවාදය හා ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සාමය හා සංහිඳියාව ඇති කිරීමට ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට ද විශාල වැඩ කොටසක් කළ හැකි බවයි පෙන්වා දුන්නේ.

මෙහිදී තරුණ ප්‍රජාව සමග එක්ව සාමය පිළිබඳ ප්‍රතිඥාවකට ද මහලේකම්වරයා අත්සන් තැබුවේය.

ගාලු කොටුව

මෙම සමුළුවෙන් අනතුරුව මහලේකම්වරයා ගාලු කොටුවේ ශ්‍රී සුධර්මාලය විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වූ අතර එම විහාරස්ථානයට පැමිණ සිටි ගාල්ල ප්‍රදේශයේ අනිකුත් ආගමික නායකයන් සමග ද මහලේකම්වරයා අදහස් හුවමාරු කර ගත්තේය.

සුළු වෙලාවක් ගාල්ල කොටුවේ සුන්දරත්වය නැරඹීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කොළඹ බලා පිටත් වුනේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග රාත්‍රියේ පවත්වන විශේෂ සාකච්ඡාව හා භෝජන සංග්‍රහයට සහභාගි වීම සඳහා යි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර