හෙමින් ගමනකට බැන්කි මූන් එකඟවෙයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බැන් කි මූන් හෙමින් ගමනකට එකඟ වුනා - ජනපති

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සභාවේ යෝජනා සැලකිල්ලට ගෙන මේ වන විට රජය දියත්කර තිබෙන වැඩපිළිවෙල පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සුභවාදී ප්‍රතිචාරයක් පළ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අතුරුදහන් වීමේ කාර්යාලය, සත්‍ය ගවේෂණ කමිටු, තොරතුරු දැන ගැනීමේ පනත, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ස්වාධීන කොමිසම් සභා පිහිටුවීම ආණ්ඩුවේ ඇතුළු සියලුම පියවර ඉතා සුභවාදීව දකින්නේ යයි මහලේකම්වරයා සඳහන් කළ බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ අදහස් පළ කළේ, බැන් කි මූන් මුණගැසී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුවත්පත් කතුවරුන් සමඟ අදහස් දක්වමින්.

'අන්තවාදී සංවිධාන'

උතුරේ අවතැන් වූ ජනතාවගේ ඉඩම් ආපසු ලබා දීම උදෙසා ආණ්ඩුවේ වැඩපිළිවෙල 'සාර්ථකව ඉදිරියට යන බව' මහලේකම්වරයාට පැහැදිලි කර දුන්නේ යයි සඳහන් කළ ජනාධිපතිවරයා, 'ඇතැම් අන්තවාදී සංවිධාන' ජනමාධ්‍ය වෙත අසත්‍ය තොරතුරු ලබාදෙමින්' හමුදාවට අයත් ඉඩම් උතුරේ ජනතාවට පවරන බවට' වැරදි ප්‍රචාර ගෙන යමින් සිටින්නේ යයි චෝදනාවක්ද එල්ල කළේය.

Image caption 'සංහිඳියා වැඩපිළිවෙළවල කල් වේලා ගෙන නිසි ලෙස සම්පූර්ණ කිරීමට අවස්තාව දීමට මහා ලේකම්වරයා එකඟ වුනා'

උතුරේ ජනතාව ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ පාරම්පරික හිමිකම් සහිත ඉඩම් විනා හමුදාවට අයත් ඉඩම් නොවන බව දුන් ජනාධිපතිවරයා, මේ වනවිටත් එම ඉඩම් හඳුනාගෙන ඇති අතර තවමත් කඳවුරුවල ජීවත්වන යුද්ධයෙන් අනාථ වූ ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ලිපි යවා ඇති බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අවශ්‍ය තරම් පුහුණු නිලධාරීන් නොමැති වීම සහ ඔවුන්ට පැවරී ඇති අධික රාජකාරි ප්‍රමාණය හේතුවෙන් ඉඩම් මිනුම් කිරීමේ කටයුතු වල යම් ප්‍රමාදයක් ඇති බැවින් මෙම ඉඩම් සැබෑ හිමිකරුවන්ට නැවත පැවරීමට යම් කාලයක් ගත වන බව මහලේකම්වරයාට පැහැදිලි කරදීමට තමන්ට හැකි වූ බවයි ජනාධිපතිවරයා විස්තර කළේ.

වසරක පමණ කාලයක සිට උතුරේ කඳවුරු වල වෙසෙන ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට විශේෂ කාර්ය සාධක බලකායක් ආරක්ෂක අමාත්‍යංශය සහ ඉඩම් අමාත්‍යංශය සමග එකතු වී ඉතා කාර්යක්ෂමව ක්‍රියා කරමින් සිටින බව මහලේකම්වරයා දැනුවත් කළ බවත් ජනාධිපතිවරයා පවසයි.

ඉඩම් භාරදීම

එබැවින් ඉදිරි මාස තුනක කාලය තුළ උතුරේ ඉඩම් නැවත භාරදීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අදහස් කරන බවත් ඔහු පැවසීය.

සිය අදහස්වලට සවන් දුන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් ඉඩම් ආපසු පැවරීම ඇතුළු සංහිඳියා වැඩපිළිවෙළවල 'කල් වේලා ගෙන' නිසි ලෙස සම්පූර්ණ කිරීමට රජයට අවස්තාව ලබාදීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

නව ආණ්ඩුවේ වසර එකහමාරක පාලන කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානවහිමිකම්, නිදහස, මූලික අයිතිවාසිකම්, අධිකරණ ක්ෂේත්‍රය, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සහ දූෂණ වංචා තුරන් කිරීමට ක්‍රියාත්මක අල්ලස් දූෂණ කොමිසම සහ මානව හිමිකම් කොමිසම් සභාවත් 'සාර්ථක ගමනක් යාමේ' ආරම්භය සනිටුහඳු කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහලේකම්වරයා සමඟ පැවති පෞද්ගලික සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.

වසර විසි හතක දීර්ඝ කාලීන බිහිසුණු යුද්ධයකින් තුවාල වූ සිත් එක් දිනකින් සුව කිරීමට නොහැකි බැවින් ඒ වෙනුවෙන් ඉතා සෙමින් ගමනක් යමින් සන්සුන්ව පියවර ගත යුතුව ඇති බැවින් තමාගේ ප්‍රමුඛත්වයෙන් සිය රජය සංහිඳියා මාර්ගයේ ගමන් කරමින් සිටින බව මහලේකම්වරයාට පැහැදිලි කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.