ශ්‍රී ලංකාවේ ප්‍රගතියක්; ඉඩම් දීම වේගවත් කරන්න - මහලේකම්

Image caption ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව බොහෝ අංශවල ප්‍රබල ප්‍රගතියක් ලබා තිබෙන බව මහලේකම්වරයා පවසයි

ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාදාමයෙහිලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ආණ්ඩුව ප්‍රබල ප්‍රගතියක් දක්වා තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කි මූන් පවසයි.

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ආරාධනයෙන් කොළඹදී දේශනයක් පැවැත්වූ මහලේකම්වරයා, යුද සමයේ උතුරු නැගෙනහිර ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් ආපසු ලබාදීම වේගවත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද කළේය.

රටේ යහපාලනය උදාකිරීම, දේශපාලන ප්‍රතිසංස්කරණ, වැරදිකරුවන්ට දඬුවම් නොදීම මෙන්ම බලය යුතු ලෙස යොදාගැනීම නිමාකිරීම සහ නීතියේ ආධිපත්‍යය උදාකිරීම පිණිස පසුගිය වසරේ ජනවාරි 08 වැනි දින ශ්‍රී ලංකාවේ ජනතාව සිය ඡන්දය භාවිත කළ බව මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජාතික ගීය දෙමළ භාෂාවෙන්

"පනහේ දශකයෙන් අනතුරුව පළමු වතාවට පසුගිය පෙබරවාරි මාසයේ නිදහස් දිනයේදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහල සහ දෙමළා භාෂා දෙකෙන්ම ගායනා කිරීම ඇතුළු ඔබ තැබූ සංකේතාත්මක පියවර මම අගය කරනවා. මේ පියවර මගින් විශ්වාසය ගොඩනැගුනු අතරම වගවීමත් විනිවිද පෙනෙන සුළු භාවයත් ශක්තිමත් කෙරෙනවා," ඔහු පැවසීය.

Image caption උතුරේ ජනතාවගේ ඉඩම් පවරාදීමේ ක්‍රියාදාමය වේගවත් කරන මෙන් මහලේකම්වරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි

කෙසේ නමුත් 'අතීතයේ උරුමයට' අදාළ කරුණු සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සහ 'වින්දිතයන්ගේ හඬ පිළිගැනීම' පිණිස තවත් බොහෝ දේ කළයුතුව තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

"කලාපයේ සහ ජාත්‍යන්තර වශයෙන් තමන්ට හිමි ස්ථානයට යළිත් ලඟාවීමෙහිලා ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ මුල් අදියරකය," මහලේකම් බැන් කි මූන් පැවසීය.

"අතීතයේ වැරදි සම්බන්ධයෙන් පියවර ගැනීම සහ විශේෂයෙන්ම අධිකරණය සහ ආරක්ෂක හමුදා වැනි ආයතනවල නීත්‍යානුකූලභාවය සහ වගවීම යළි ඇතිකිරීම පිණිස තවත් බොහෝ දේ කළයුතුව තිබේ."

පශ්චාත් අර්බුද නිරාකරණය

විශේෂයෙන්ම ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය යළි ඇතිකිරීම පිණිස ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් පියවර මහලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක්විය.

කොමිසමට කාර්යක්‍ෂමව සිය කටයුතු පවත්වාගෙන යාම පිණිස සම්පත් ලබාදීමේ මෙන්ම කොමිසමට නිසි ගෞරවය ලබාදීමේ අවශ්‍යතාවයත් ඔහු අවධාරණය කළේය.

ඒ අතරම යුද්ධයෙන් අවතැන් වූවන්ට යළි සිය නිජබිම් කරා ආපසු ඒමට හැකි වන පරිදි ඔවුන්ගේ ඉඩම් ආපසු භාරදීම වේගවත් කළ යුතු බවයි බැන් කි මූන් පවසන්නේ.

"මේ ඉඩම් ආපසු ලබාදීමට තමන්ගේ කැපවීම ජනාධිපති සිරිසේන මට දීර්ඝ වශයෙන් විස්තර කළා. එයට සමගාමීව, උණුසුම අඩුකිරීම සහ විශ්වාසය ගොඩනැගීම සඳහා උතුරේ සහ නැගෙනහිර රඳවා සිටින හමුදා භට පිරිස අඩු කළ හැකියි."

සත්‍යය පැවසීම, වගවීම, හානිපූරණය සහ ආයතන ප්‍රතිසංස්කරණ යන පශ්චාත් අර්බුද නිරාකරණයේ සිවු වැදෑරුම් අංග ශ්‍රී ලංකාවත් ක්‍රියාවට නැගිය යුතු බව සඳහන් කළ මහලේකම්වරයා, කෙසේ නමුත් මෙවැනි බරපතල ගැටුමකින් අනතුරුව සංහිඳියාව උදාකරගැනීමෙහිලා 'ක්ෂණික මාර්ගයක්' නොමැති බවත් අවධාරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්