යුද අපරාධ: 'වින්දිතයන්ට පිළිගත හැකි යාන්ත්‍රණයක් අවශ්‍යයි'

  • 2016 සැප්තැම්බර් 2
Image caption 'ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කළ යුතුයි'

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විශ්වසනීය යාන්ත්‍රණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි.

එය වින්දිතයන්ට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවටද පිළිගත හැකි ආකාරයේ යාන්ත්‍රණයක් විය යුතු බවත් සිය ශ්‍රී ලංකා නිල සංචාරය අවසානයේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් බැන් කි මූන් කියා සිටියේය.

කෙසේ නමුත් අදාළ යාන්ත්‍රණයට විදේශීය විනිසුරන්ද සම්බන්ධ විය යුතු දැයි මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් මහලේකම්වරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කළ යුතු බවයි.

යුද අපරාධ චෝදනා පිළිබඳව විභාග කිරීම සඳහා මසක් ඇතුලත පරීක්ෂණ මඩුල්ලක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය වසරේ මාර්තු මාසයේ ලන්ඩන් නුවර සංචාරයක් අතරතුරදී බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. (සාකච්ඡාව නරඹන්න)

Image caption 'වින්දිතයන්ට පිළිගත හැකි, විශ්වසනීය යාන්ත්‍රණයක් අවශ්‍යයි'

දේශීය සහ ජාත්‍යන්තර විනිසුරන්ගෙන් සැදුම් ලත් මිශ්‍ර අධිකරණයක් විසින් එම චෝදනා විභාග කළ යුතු බවයි, ඉන් අනතුරුව පසුගිය වසරේ සැප්තැම්බරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය නිර්දේශ කළේ.

එහෙත් අදාළ පරීක්ෂණය සඳහා විදේශීය විනිසුරන් යොදා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව මේ වසරේ ජනවාරි මාසයේදී ජනාධිපතිවරයා බීබීසී සංදේශයට පැවසීය. (සාකච්ඡාව නරඹන්න)

කෙසේ නමුත් දේශීය අධිකරණය පිළිබඳව විශ්වාසය බිඳ වැටී ඇති බැවින් යුද අපරාධ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානය ඇතුළු පිරිස් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාව තුල ප්‍රබල මතභේදයකට ලක්ව තිබෙන එම ප්‍රශ්නය සම්බන්ධයෙන් සෘජු ප්‍රකාශයක් කිරීමට මහලේකම්වරයා උනන්දුවක් නොදක්වූ බවයි මාධ්‍ය සාකච්ඡාවේදී දක්නට ලැබුණේ.

සිය තෙදින නිල සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා උතුරේ මෙන්ම දකුණේද සංචාරය කළ අතර, ආණ්ඩුවේ සහ විරුද්ධ පක්ෂයේ නායකයන්ද මුණගැසී සාකච්ඡා කළේය.

බීබීසී යෙන්