පොලිස් ප්‍රහාර: 'ගංජා, කුඩු දාල හිරේ යවනවා'

"මට යමි කිසි හැකියාවක් තිබෙන නිසා මම රාත්‍රියේම පොලිසියෙන් එලියට ආවා. සාමාන්‍ය මනුස්සයෙක් ගෙන ගියා නම් ඒ පුද්ගලයා තාමත් හිරේ. ලංකාවේ මේ වන විට පවතින්නේ මේ වගේ තත්වයක්."
Image caption "මට යමි කිසි හැකියාවක් තිබෙන නිසා මම රාත්‍රියේම පොලිසියෙන් එලියට ආවා. සාමාන්‍ය මනුස්සයෙක් ගෙන ගියා නම් ඒ පුද්ගලයා තාමත් හිරේ. ලංකාවේ මේ වන විට පවතින්නේ මේ වගේ තත්වයක්."

සෙනසුරාදා රාත්‍රියේ සිය නිවසට කඩා වැදුණු පොලිස් නිලධාරීන් පිරිසක් චෝදනාවක් රහිතව තමන් අත්අඩංගුවට ගෙන නිවසේදී සහ පොලිස් රථයේදී දිගින් දිගටම පහර දුන් බව මාධ්‍යවේදී රුවන් නෙලුගොල්ල පවසයි.

සිය නිවසේ තාවකාලිකව නැවතී සිටි මිතුරකුට වෙළෙඳසැලක් අසලදී පහර දී ඇති ඉහත කී පොලිස් නිලධාරීන් අනතුරුව ඔහු සමඟ තම නිවස වෙත පැමිණ මත් කුඩු තිබේදැයි ප්‍රශ්න කරමින් නිවස සෝදිසි කළ බවත් 'ලංකා නිවුස් වෙබ්' වෙබ් අඩවියේ මාධ්‍යවේදී රුවන් නෙලුගොල්ල බීබීසී සංදේශයට පැවසීය.

"ඒ වෙලාවෙත් ඔවුන් මගේ මිතුරාට පහර දෙමින් සිටියා."

සිය මිතුරාට පහරදීමට පොලිසියට හැකියාවක් නොමැති බව පවසමින් තමන් එහිදී විරෝධය පළ කළ බවත් මාධ්‍යවේදී රුවන් නෙලුගොල්ල පැවසීය.

"ඊට පස්සේ ඔවුන් කිව්වා අපි සියලු දෙනාම පොලිසියට අරන් යනවා කියලා. මම ඇහුවා එහෙම කොහොමද මිනිස්සුන්ව පොලිසියට අරන් යන්නේ කියලා."

'ගංජා, කුඩු'

එවිට ගිනි අවියක් පිටතට ගත් එක් නිලධාරියකු බිත්තියට හේත්තු කොට තමාට පහර දුන් බව ඔහු පවසයි.

ඉන් අනතුරුව පොලිස් රථය වෙත තමා රැගෙන ගිය බවත් තමා මාධ්‍යවේදියකු බව කියා සිටි අවස්ථාවේදී පරුෂ වචනයෙන් බැණ වැදී තමාට නැවතත් පහර දුන් බව ඔහු කියා සිටියේය.

"මම ඇහුවා ඇයි මාව ගෙනියන්නේ කියලා. එතකොට කිව්වා උඹලා ගාව නැති වුනාට අපි ගාව ගංජා, කුඩු ඕන තරම් තියනවා. අතින් දාලා හරි හිරේ යවනවා කියලා තමයි ගෙනිච්චේ."

අනතුරුව සිය නීතිඥවරයා පොලිසියට පැමිණි බවත් ඉන් අනතුරුව පහරදීම සම්බන්ධයෙන් නඩු මගට නොයා සමාදාන වීමට එකඟත්වය පළකරමින් පොලිසිය තමා නිදහස් කළ බවත් ලංකා නිවුස් වෙබ් අඩවියේ දේශපාලන කටයුතු සංස්කාරකවරයා සංදේශයට පැවසීය.

පහර දීම සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිලි කරන බවයි ඔහු පවසන්නේ.

'පොලිස් ප්‍රහාර'

"මට යමි කිසි හැකියාවක් තිබෙන නිසා මම රාත්‍රියේම පොලිසියෙන් එලියට ආවා. සාමාන්‍ය මනුස්සයෙක් ගෙන ගියා නම් ඒ පුද්ගලයා තාමත් හිරේ. ලංකාවේ මේ වන විට පවතින්නේ මේ වගේ තත්වයක්."

"මට සිදු වූ දේ තනි සිද්ධියක් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට හඬ නැගීමට නොහැකි වීම හෝ නීතිය නොදන්නා කම නිසා මෙවැනි දේවල් දිනපතා සිද්ධ වෙනවා."

මේ පිළිබඳව විමසීම පිණිස පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇමතීමට සංදේශය කිහිපවරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්