මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට ප්‍රහාරයක්

මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් අයි.අන්සාර් Image copyright www.slhc.com
Image caption මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර්

මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට යම් කිසි පිරිසක් විසින් පහර දෙනු ලැබ ඇති බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා තහවුරු කළේය.

නිල සංචාරයක් සඳහා මැලේසියාවට ගොස් සිටි අමාත්‍ය දයා ගමගේ කැටුව ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොස් ඇති මහ කොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර් ඔහුට සමු දී නැවත එන අවස්ථාවේ ගුවන් තොටුපොලේදීම පහර දීමට ලක් වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

ප්‍රහාරයට ලක් වූ මහ කොමසාරිස්වරයා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බවත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රහාරය දැඩිව හෙලා දකින බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එයට විරෝධය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින මැලේසියානු තානාපතිවරයා සඳුදා විදේශ අමාත්‍යංශයට කැඳවන බවත් කියා සිටියේය.

මහින්ද මැලේසියාවේ

ප්‍රහාරකයන් හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා එරට බලධාරීන් වෙත ක්වාලාලම්පූර් අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහාය හිමි වන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පවසයි.

ඉහත කී ප්‍රහාරය සිදු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැලේසියාවේ සංචාරයක නිරත වී සිටින අතරතුරදී. ඔහුගේ සංචාරයට එරෙහිව මැලේසියාවේ සිටින දෙමළ ජාතිකයන් විරෝධතාවයන්හි නිරතව සිටි බවත් වාර්තාවේ.

දිනේෂ් ගුණවර්ධන සහ ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද හිටපු ජනාධිපතිවරයා සමඟ එම සංචාරයට එක් වී සිටිති.