මහකොමසාරිස්ට පහරදීම: පස් දෙනෙක් අත්අඩංගුවේ

මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර් Image copyright WWW.SLHC.COM
Image caption මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර්

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර්ට පහර දුන් බවට සැකපිට පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මැලේසියාවේ පොලිසිය පවසයි.

සැකකරුවන් පස්දෙනාම ශ්‍රී ලාංකිකයන් හෝ ඉන්දීය ජාතිකයන් නොවන බවත් ඔවුන් මැලේසියාවේ උපත ලද දෙමළ ජාතිකයන් බවත් මැලේසියාවේ පොලිස් ප්‍රකාශකයෙක් බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.

සැකකරුවන් තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවන බව කියා සිටි ප්‍රකාශකයා, පහර දීම පිළිබඳ පොලීසය තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පැවසීය.

ක්වාලාලම්පූර් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී දෙමළ භාෂාවෙන් හඬ නගමින් මහ කොමසාරිස්වරයාට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබේ.

මහ කොමසාරිස්වරයාට පහර දෙනු ලැබීම ශ්‍රී ලංකා ආණ්ඩුව දැඩිව හෙලා දකින බව සංදේශයට කියා සිටි විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ඊට විරෝධය පළ කිරීම පිණිස කොළඹ සිටින මැලේසියානු මහ කොමසාරිස්වරයා විදේශ අමාත්‍යංශයට කැඳවීමට පියවර ගෙන ඇති බව සඳහන් කළේය.

පහර දීමට ලක් වූ මහ කොමසාරිස්වරයා අසාධ්‍ය තත්වයේ පසු නොවන නමුත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඔහු රෝහලට ඇතුලත් කරන ලද බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

'එල්ටීටීඊ හිතවාදීන්ට අනතුරු ඇඟවීමක්'

පහර දීමේ අරමුණ කවරක් දැයි සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකට පිළිතුරු දුන් මැලේසියාවේ පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේ ''යුද සමයේ ශ්‍රී ලංකාවේ ජනසංහාරයක් සිදුව ඇති බවට පවතින විශ්වාසය මත ඇති වූ කෝපය නිසා'' මහකොමසාරිස්වරයාට පහර දුන්නේ යයි සැකකරුවන් පවසන බවයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කොට ඇති බවත් පොලිස් ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ක්වාලාලම්පුර් අගනුවර පැවති මාධ්‍ය හමුවක් ඇමතූ මැලේසියාවේ පොලිස්පති තෑන් ශ්‍රී ඛාලිද් අබු බකර් මැලේසියාවේ සිටින එල්ටීටීඊ හිතවාදීන්ට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

"එල්ටීටීඊය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තහනම් කළ ත්‍රස්ත සංවිධානයක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් හැටියට අපිට ඔවුන්ට (එල්ටීටීඊ ආධාරකරුවන්ට) එරෙහිව පියවර ගන්න පුළුවන්," පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස්පතිවරයා සඳහන් කළ බව නිව් ස්ට්‍රේට්ස් ටට්යිම්ස් පුවත්පත වාර්තා කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඒ වන විට මැලේසියාවේ සංචාරයක නිරතව සිටි අතර, එම සංචාරයට එරෙහිව එරට උද්ඝෝෂණ දියත්ව තිබිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්