විදෙස් රැකියා සඳහා අවම වැටුපක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විදෙස් රැකියා සඳහා අවම වැටුපක් - තලතා

  • 2016 සැප්තැම්බර් 6

රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට ලබන වසරේ සිට ඇමෙරිකානු ඩොලර් 300ක අවම වැටුප් සීමාවක් පැනවීමට කටයුතු කරන බව විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමතිනි තලතා අතුකෝරල පවසයි.

විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට පසුගිය අයවැය මගින් ඇමරිකානු ඩොලර් 300 ක අවම වැටුප් සීමාවක් පනවා තිබූ නමුත් එය මේ වසරේ ක්‍රියාත්මක නොවිණි.

කොළඹ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරිය කියා සිටියේ ඉහත කී වැටුප් සීමාව ලබන වසර ආරම්භයේ සිට හඳුන්වා දීමට කටයුතු කරන බවයි.

පළමුව එවැනි වැටුප් සීමාවක් පැනවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ යුතුව තිබෙන බවත් ඇය පෙන්වා දුන්නාය.

"පළමු කාරණය අපේ ශ්‍රමිකයෝ ගැන වැඩි ප්‍රසාදයක් තිබෙන්න අවශ්‍යයි. ඒ කරුණු හදා ගෙන තමයි එතනට යන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා 2017 වසරේ සිට ඒ අවම වැටුප් සීමාව හඳුන්වා දෙන්න."

'2017 වසරේ සිට'

රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන් සඳහා දැනට අවම වැටුප් සීමාවක් නොමැති බව කියා සිටි අමාත්‍යවරිය ඇතැම් අවස්ථාවලදී ඩොලර් 200 ක් වැනි වැටුපකටත් විදේශගත වන බවත් සඳහන් කළාය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පවසන පරිදි ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ රුපියල් 35,000 කට අසන්න වැටුපක් ලබා ගත හැකි රැකියා අවස්ථා 150,000 පමණ තිබේ.

එසේ තිබියදී ඩොලර් 200 ක් වැනි වැටුපකට (රුපියල් 29,000) විදේශගත වීමට ශ්‍රී ලාංකිකයන් උත්සහ කරන්නේ ඇයි දැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරිය කියා සිටියේ අවම වැටුප් සීමාවක් හඳුන්වා දීමෙන් එවැනි වැටුපක් සඳහා විදේශගත වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩු කර ගත හැකි බවයි.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහාත් අවම වැටුප් සීමාවක් පැනවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වන බවත් ඇය සඳහන් කළාය.

'ශ්‍රීලනිපය සහ එජාපය'

ඇතැම් අවස්ථාවල පෞද්ගලික හේතු මත ලැබෙන ඕනෑම රැකියාවකට විදෙස්ගත වන පිරිසක්ද සිටින බවත් ඇය පෙන්වා දෙයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය අමතමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ගොඩනගන බවයි.

"ඒකේ ප්‍රශ්නයක් නැහැ. අද එක්සත් ජාතික පක්ෂයේ බහුතරය එදාට නිදහස් පක්ෂයේ බහුතරයක් එන්න පුළුවන්. එතුමා සමහර විට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බහුතරයක් ඉන්න ආණ්ඩුවක් හදලා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ කර ගෙන ආණ්ඩුව කරන්න," ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇමතිනි තලතා අතුකෝරල වැඩිදුරටත් කියා සිටියාය.