අතුරුදහන් කිරීමේ චෝදනා: නාවික හමුදා නිලධාරියාට විදෙස් ගමන් තහනම්

  • 2016 සැප්තැම්බර් 6

පසුගිය පාලන සමයේ කොළඹ නගරයේ තරුණයින් එකොළොස් දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණවලට ලක්ව සිටින නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩි.එම්.පි. දසනායක විසින් විදේශ ගත වීමට ඉල්ලූ අවසරය අද (06) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම විමර්ශනයට අදාලව පසුගිය පාලන සමයේ ශ්‍රී ලංකා නාවික හමුදා බිද්ධි අංශ ප්‍රධානි ලෙස කටයතු කළ ඩි.එම්.පි. දසනායකගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය මිට මාස කිහිපයකට ඉහතදී නියෝග කළේය.

අද මෝසමක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නාවික නිලධාරි දසනායක වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පුහුණුවක් සඳහා වසර එකහමාරක කාලයක් සිය සේවාදායකයාට විදේශ ගතවීමට අවසර දෙන ලෙසයි.

නාවික නිලධාරි දසනායකට එරෙහිව පොලිසිය පරීක්ෂණ පවත්වා වාර්තා සියල්ල නීතිපති වෙත ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන් අධිකරණය ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සිය තීන්දුව ලබා දුන්නේය.

කෙසේ වෙතත් මෙම අතුරුදන් කිරීම් වලට අදාළ පරීක්ෂණ තවදුරටත් පවත්වන්නැයි පොලිසියට නියම කළ අධිකරණය ලබන 27 වෙනිදා එහි ප්‍රගතිය වාර්තා කරන මෙන්ද රහස් පොලිසියට නියම කළේය.