ඇවන්ට්ගාඩ් ප්‍රධානියාට ඇප ලැබේ

ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති
Image caption ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කරනු ලැබ තිබේ.

ඉහත කී සමාගම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් කොමිසම වෙත කැඳවා තිබූ අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිණ.

මේ අතර 2012 වසරේ සිට 2015 වසර දක්වා වූ කාල සීමාව තුළ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සඳහා ඇවන්ට්ගාඩ් සමාගමට අනුමැතිය ලබා දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මීට ඉහතදී නඩු පවරා තිබිණි.

සැප්තැම්බර් 30 වනදා උසාවියේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට අධිකරණය විසින් පසුගියදා නොතීසි නිකුත් කරනු ලැබිණ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්