කැබිනට්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

90% දුම්කොළ බද්ද ගැන මතභේද

මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් කටයුතු කරන්නේ දුම්කොළ සමාගම් නියෝජිතයන්ගේ විලාසයෙන් යැයි සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ බදාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී.

දුම්කොළ සඳහා දැනට පනවා ඇති 72% ක බද්ද 90% දක්වා ඉහළ දැමීමටත් දුම්කොළ සඳහා 15% වැට් බද්දක් පැනවීමටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කැබිනට් මණ්ඩලයට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කළ නිරීක්ෂණ අධ්‍යනය කිරීම සඳහා කැබිනට් අනුකාරක සභාවක් පත් කරනු ලැබ ඇති අතර බදු පැනවීම පිළිබඳ අවසන් තීන්දුව ලබන කැබිනට් මණ්ඩලයේදී ගනු ඇති බවයි සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න කියා සිටියේ.

"මුදල් අමාත්‍යංශය කියන්නේ මේක දැම්මොත් පාඩුයි කියලා. මම මේක ජනාධිපතිතුමාත් එක්ක කතා කලාම එතුමත් කිව්වේ අපිටත් අවශ්‍ය දුම්කොළ ඇලවිය දුර්වල කරන්න තමයි කියලා."

"දුම්කොළ සමාගම් ලාභදායී කරන්න නොවෙයි අපිට අවශ්‍ය. සමහර මුදල් අමාත්‍යංශයේ කට්ටිය ඇවිල්ලා අපිට උගන්නන්නත් හැදුවා වෛද්‍ය දත්ත ගැන. සමහර අය හැසිරුණේ දුම්කොළ සමාගමේ නියෝජිතයන් වගේ."

ඖෂධ පනත හරහා ඖෂධ මිල විශාල වශයෙන් අඩු කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේය.