සෝභිත හිමි අපවත් වීම; යළි මරණ පරීක්ෂණ නැහැ

Image caption මාදුළුවාවේ සෝභිත හිමි

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු හැටියට ක්‍රියා කළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරනු ලැබීමේ උවමනාවක් මතු නොවන බව ශ්‍රී ලංකාවේ වෛද්‍ය මණ්ඩලයක් පවසයි.

කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් සමන්විත පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය කියා සිටින්නේ සෝභිත හිමියන්ගේ ව්‍යාධී තත්වය සහ සිංගපූර් 'මවුන්ට් එලිසබෙත්' රෝහලේ සායනික මණ්ඩලය විසින් උන්වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණු සමාන වන හෙයින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරනු ලැබීමේ උවමනාවක් නොමැති බවයි.

එම කරුණු ප්‍රකාශ වෙන්නේ ඉහත කී වෛද්‍ය මණ්ඩලය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවක් මගිනි.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සැක සහිත බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ උඩුවේ ධම්මාලෝක හිමියන් විසිනි.

එම ප්‍රකාශයට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක ලැබුණ අතර ඉන් පසුවයි ශ්‍රී ලංකාවේ වෛද්‍ය මණ්ඩලයක් විසින් සෝභිත හිමියන්ගේ අපවත් වීමට අදාළ පසුබිම නිරීක්ෂණය කරන ලද්දේ.

එහෙත් සෝභිත හිමියන්ගේ අපවත්වීමට බල පා ඇති කරුණු අධීක්ෂණය කරමින් ඉහත කී පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය අධිකරණයට දැනුම් දී ඇත්තේ 'සිංගපූර් 'මවුන්ට් එලිසබෙත්' රෝහලේ සායනික මණ්ඩලය විසින් සෝභිත හිමියන්ගේ අපවත් වීමට බල පා ඇති හේතු හැටියට දක්වන ලද කරුණු උන්වහන්සේගේ කලින් රෝගී තත්ත්වයන් සමග සැසඳෙන හෙයින් හදිසි මරණ පරීක්ෂණයක් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නොමැති' බවයි.

සෝභිත හිමියන් යොමු කරන ලද වෛද්‍ය ප්‍රතිකාරවල දත්ත අස්ථානගත වීමක් හෝ වෛද්‍යවරුන් අතින් අතපසුවීමක් හෝ සිදු වී නොමැති බවයි සියලු වෛද්‍ය වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසු ඉහත කී කමිටුව අධිකරණයට දන්වා ඇත්තේ.

බීබීසී යෙන්