දුමින්ද සිල්වාට මරණ දඬුවම

Image caption ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයේ බහුතරය තීරණය කළේ මෙම ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බවට සාක්ෂි මගින් තහවුරු වී ඇති බවයි

2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවැති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට අද (08) මරණීය දණ්ඩණය නියමවිය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න තීන්දුව දෙමින් කියා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කල චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් විත්තිකරුවන් 11 දෙනා නිදොස් කොට නිදහස් කරන බවයි.

එහෙත් විනිසුරු මඬුල්ලේ පද්මිණි.එන.රණවක සහ එම.කේ.ඩි. මොරායස් යන බහුතර විනිසුරුවරු මෙම දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු චෝදනා වලට වරදකරු කරන බවයි කියා සිටියේ.

ඒ අනුව චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරු තීන්දු කළහ.

Image caption භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව රහස් පොලිසිය මගිනුයි, මෙම නඩුව පවරා තිබුණේ

තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඝාතනය කෙරුණු භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ වත්මන් රජය බලයට පත් වී අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම නිසා මෙවැනි සාධාරණ තීන්දුවක් ලබාගැනීමට හැකිවූ බවයි.

බහුතර විනිසුරු මඬුල්ල තීන්දුව දෙමින් කියා සිටියේ විත්තිකාර දුමින්ද සිල්වා කලක පටන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග අමනාපයකින් පසුවූ බව පැහැදිලි බව බවයි.

මේ හේතුවෙන් මෙම ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බවට සාක්ෂි මගින් තහවුරු වී ඇති බව කී බහුතර විනිසුරුවරු ඒ අනුව මරණීය දණ්ඩනය පනවන බවයි කියා සිටියේ.

මෙම තීන්දුව සම්බන්ධයෙන් දුමින්ද සිල්වා පාර්ශවයෙන් අදහස් පළකිරීමක් සිදුවූයේ නැත.

එහෙත් ඔහුගේ නීතිවේදීන් කියා සිටියේ මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

අද මරණිය දණ්ඩනය නියමවූ පිරිස අතර චමිද ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නැමැත්තාද ඇතුලත් විය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී අධිකරණ සංකීර්ණය අවට පොලිස් ආරක්ෂාව තරකර තිබුණි.

බීබීසී යෙන්