හම්බන්තොට වරාය ඉදිකිරීමේ වරදක් නැහැ - අර්ජුන
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හම්බන්තොට වරාය ඉදිකිරීමේ වරදක් නැහැ - අර්ජුන

පසුගිය රජය මගින් හම්බන්තොට ප්‍රදේශයේ වරායක් ඉදිකිරීමේ කිසිදු වරදක් නොමැති වුවත් ඒ වෙනුවෙන් වැය කළ විශාල මුදල සම්බන්ධයෙන් ගැටළු රැසක් පවතින බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

හම්බන්තොට වාරයේ කටයුතු ගැන බිබිසියේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්චාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

"වරාය තියෙන තැන අනුව ඉතා හොඳ තැනක්, අවාසනාවකට වරාය ඉදිකරන්න විශාල මුදලක් වැය කර තිබෙනවා, වියදම් කරපු මුදල දිහා බැලුවොත් ඒ මුදලෙන් බාගයකින් වරාය හදන්න පුළුවන්" අමාත්‍ය අර්ජුන රණතුංග පැහැදිළි කළේය.

කොළඹ වරාය ලබන සියළු ලාභ වැය කිරීමට සිදුව ඇත්තේ හම්බන්තොට වරායේ ණය සහ පොළිය ගෙවීමට බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

"චීන බැංකුවකට විශාල මුදලක් ගෙවන්න වෙලා තියෙනවා ලොකු පොළියක් එක්ක, අගමැතිතුමා සාකච්චා කළා චීන රජයත් එක්ක මේ ණය පොළිය අඩුකර ගැනීම ගැන" ඔහු වරාය ණය මුදල් සම්බන්ධයෙන් රජයේ ක්‍රියාමාර්ග විස්තර කළේය.

වාරයේ අයිතිය චීන සමාගමට පවරා ණය මුදල කපාහැරීමේ සුදානමක් ඇත්දැයි විමසු විට අමාත්‍යවරයා පැවසුවේ කිසිදු ආකරයකින් වරාය අයිතිය චීන රජයට ලබාදීම සඳහා සාකච්ඡාවක් සිදු නොවූ බවයි.

"ඒගොල්ලන්ට පරිපාලනය ලබාදීම ගැන සාකච්ඡාවක් සිදුවෙනවා, ආයෝජකයන් ගෙනල්ල එතකොට ඒගොල්ලන්ගේ නැව් සමාගම් ගෙනල්ල පාලනය කරයි කියලා" අයිතිය කෙසේ වෙතත් වරාය පරිපාලනය චීනයට පැවරීමේ සාකච්ඡා සිදු වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.