මහකොමසාරිස් ප්‍රහාරය: සැක කරුවන්ට නඩු

මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට පහර දීමේ චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනකුට එරෙහිව මැලේසියානු බලධාරීහු අද නඩු පවරූහ.

අත්අඩංගුවේ සිටි අනෙක් සැකකරුවන් තිදෙනාට එරෙහිව සාක්ෂි නැති බවයි මැලේසියාවේ පොලිසිය පවසන්නේ.

පසුගිය ඉරිදා ක්වාලාලම්පූර් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැක කරුවන් සිව් දෙනෙක් සොයමින් සිටින බවයි මැලේසියානු පොලිස් ප්‍රකාශකයෙක් සන්දේශයට කියා සිටියේ.

අද අධිකරණයට ඉදිරිපත් කරන ලද සැක කරුවන් දෙදෙනාට අධිකරණය විසින් ඇප නියම කරනු ලැබ තිබේ.

පරීක්ෂණ පිළිබඳ වැඩි විස්තර විමසූ අවස්ථාවේ පොලිස් ප්‍රකාශකයා කියා සිටියේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් විමසිය යුතු බවයි.

පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විපක්ෂය එල්ල කරන චෝදනා පිළිබඳව කිසිවක් පැවසීමත් ඔහු ප්‍රතික්ෂේප කළේය.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් විමසීමට ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර් සම්බන්ධ කර ගැනීමට සන්දේශයට හැකි වුනත් ඒ පිළිබඳ අදහස් පළ කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් පසුගිය සඳුදා සංදේශය විමසීමක් කළ අවස්ථාවේ මැලේසියානු පොලිස් නිලධාරියෙකු කියා සිටියේ සැක කරුවන් සියලු දෙනා මැලේසියානු ජාතිකයන් බවයි.

ඔවුන් තමිල්නාඩුවේ 'නාම් තමිලර්' දේශපාලන පක්ෂයට සම්බන්ධ කණ්ඩායමක් බව අගමැති රනිල් වික්‍රම සිංහ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර තිබේ.