ජනතාව නොමඟ යවන ප්‍රකාශන පළ කිරීම ජාතික අපරාධයක් - ජනාධිපති

මෛත්‍රී Image copyright Maithripala Sirisena
Image caption ''මම සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා ගෞරවයෙන්, මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තැන තැන කතා කරන අසත්‍ය ප්‍රචාර ජනතාව නොමග යැවීම සඳහා පළ කරන්න එපා කියලා.''

යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳ ඇතැම් කණ්ඩායම් විසින් කරනු ලබන අසත්‍ය ප්‍රකාශ පළ කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.

එවැනි අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය තුළ පළ කරනු ලැබීම ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබුවේ 'ජාතික අපරාධයක්' ලෙසයි.

සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස්වලට පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා තමා ඇතුළු ආණ්ඩුව කැප වී සිටින බව ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹ කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ හැත්තෑ වන සංවත්සර උළෙල අමතමිනි.

'මට ඉතාමත් කනගාටුයි කියන්න නායක හාමුදුරුවනේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අසත්‍ය, වැරදි ප්‍රචාර ජනතාව අතරට යවනවා. ඇතැම් මාධ්‍ය ආයතන ඉතාමත් වැරදි සහගත වාර්තා පළ කරනවා.'ජනාධිපතිවරයා කියා සිටියේය.

'මම කියෙව්වා හෙට පිට වන ජාතික පුවත්පතක්. සම්පුර්ණයෙන් අසත්‍ය පිරිලා තිබෙන්නේ. මම සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා ගෞරවයෙන්, මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තැන තැන කතා වෙන අසත්‍ය ප්‍රචාර ජනතාව නොමග යැවීම සඳහා පළ කරන්න එපා කියලා.'

Image copyright Getty Images
Image caption ''අපි කිසිවිටක දේශද්‍රෝහී වැඩ කරලා නැහැ. මම කිසි විටක ජනාධිපතිවරණයක් දිනන්න එල්ටීටීඊ හෝ ත්‍රස්ත කණ්ඩායමක් එකක් ගිවිසුම් ගහලා නැහැ. ඊට වඩා මට හොදයි පරාජය.''

'යුද්ධයක් ඇති නොවීමට නම්'

ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇති වීමට ඉඩ නොතැබීම සියලු දෙනාගේ වගකීම බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.

'එදා තිබූ තත්වයන් මත අනගාරික ධර්මපාලතුමා කිව්වේ සිංහලයනි නැගිටියව්! කියලා. මේ රටේ පොදු ජනතාවගේ සේවකයා වශයෙන් මම අද කියනවා ලාංකිකයනි නැගිටිව්! කියලා' ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සම්මේලනය ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සිය පක්ෂය රටට සිදු කළ සේවය පිළිබඳ ආඩම්බර වනවා සේම පක්ෂය අතින් සිදු වූ වැරදිවලට සමාව අයැද සිටින බවයි.

තමා මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා කිසිවිටකත් එල්ටීටීඊ සංවිධානය සමග ගිවිසුම් නොගැසූ බවත් අගමැතිවරයා පැවසීය.

'අපි කිසිවිටක දේශද්‍රෝහී වැඩ කරලා නැහැ. මම කිසි විටක ජනාධිපතිවරණයක් දිනන්න එල්ටීටීඊ හෝ ත්‍රස්ත කණ්ඩායමක් එකක් ගිවිසුම් ගහලා නැහැ. ඊට වඩා මට හොඳයි පරාජය.'

වැරදිවලට සමාව ඉල්ලනවා - රනිල්

Image copyright Getty Images

එල්ටීටීඊ සංවිධානය සමග ගිවිසුම්වලට එළඹීම දේශප්‍රේමී ලෙසින් ඇතමුන් හඳුන්වන්නේ නම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව රට ඉදිරියට ගෙන යෑම දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස සමහරකු විසින් විග්‍රහ කරනු ලැබීම කෙතරම් සාධාරණ දැයි අගමැතිවරයා ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකාව දේශපාලන විසඳුමක් කරා ගමන් කරන බවත් යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරෙන බවත් අගමැතිවරයා කියා සිටියේය.

'තාම ව්‍යවස්ථාව ගැන කිසිම තීරණයක් නැහැ. සාකච්ඡා පමණයි සිදු වෙන්නේ.'

ජාතික සමගිය ගොඩ නැගීම සඳහා වත්මන් ආණ්ඩුව කැප වී සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක් නොවුනේ නම් එම ඉලක්කය ජය ගත නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ හැත්තෑ වන සංවත්සර උළෙල සඳහා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු සෙසු පක්ෂ නියෝජනය කරන නායකයන් රැසක් එක් වී සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්