වැට් බදු පනත 'මාස නමයකට පමණයි'
වැට් බද්ද ඉහල දැමීමට යෝජනා කෙරෙන සංශෝධිත නව කෙටුම්පත ක්‍රියාත්මක කරන්නේ මාස නමයක කාලයක් සඳහා පමණක් බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවා ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙසින් සහභාගි වූ අවස්ථාවේදී.
සංශෝධිත වැට් බදු පනත අමාත්‍ය මණ්ඩලය විසින් අඟහරුවාදා සම්මත කරන ලද බව සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා, එය මූලික පනතට වඩා 'ජනතාවට අවම පීඩනයක් ලබාදෙන' වැට් බදු පනතක් බවත් පැවසීය.
"අපි පිළිගන්නවා දියුණු රටක මෙන් රාජ්‍ය සේවකයින්ට ලැබෙන වැටුප් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව. එම නිසා රට දියුණු කළ යුතුයි. ඉන් පසු රාජ්‍ය සේවකයින්ගේ වැටුපත් වැඩි කිරීමට හැකියාවක් ඇති වෙනවා," ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ පරිපාලනය විසින් නිසි ක්‍රමවේදය අනුගමනය නොකර මහා භාණ්ඩාරගාරයට පිටතින්ද ණය ලබාගෙන තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, එහි ප්‍රතිඵලයක් ලෙසින් රුපියල් ට්‍රිලියන් 1.3 ක ණයක් ගෙවීමට සිය රජයට සිදු වී තිබෙන බවත් සඳහන් කළේය.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එම ගිණුම් පිළිබඳව සොයා බැලුවා. එහිදී අනාවරණය වුනා ට්‍රිලියන 1.3 ක් ශ්‍රී ලංකා ජනරජය ණය ගෙවීමට තිබෙන බව. එම නිසා තමයි මෙම වැට් බදු ප්‍රශ්ණය මතු වුනේ."
එහෙත් එය ආණ්ඩුව මුහුණ දෙන තාවකාලික ගැටලුවක් පමණක් බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
එම ණය ගෙවීම සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් බිලියන 4.5 ක්ද ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් බිලියන 1.5 ක මුදලක්ද ලබාදීමට එකඟ වී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා, මාස නමයකට පසුව එය සරළ කොට සහන ලබාදීමට කටයුතු කරන බවට ප්‍රතිඥාවක් දුන්නේය.
ලබන නොවැම්බර් මස 10 වැනි දින රජයේ අයවැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.