'උතුරේ අවතැන් වූවන් සියලු දෙනාට ඡන්ද බලය'

Image caption මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශ්ප්‍රිය

යුද්ධය හේතුවන් විපතට පත්ව උතුරු නැගෙනහිර අවතැන් කදවුරුවල සිටින සියලු දෙනාම ඡන්ද හිමි නාමලේඛණයට ඇතුළත් කිරීම වෙනුවෙන් අවශ්‍ය සියළු කටයුතු සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශ්ප්‍රිය පවසයි.

අවතැන් ජනතාවට ඡන්ද බලය අහිමි වී ඇති බවට දෙමළ ජාතික සන්ධානය නගන චෝදනා පිළිබදව විමසූ විට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඡන්දය ලැබීමේ සුදුසුකම් සපුරන සියලුම පුරවැසියන්ට ඡන්ද බලය ලබාදීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇති බවයි.

කඳුකරයේ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාවට, අහිගුණ්ඨික වැසියන්ට සහ වීදි සරණ යාචකයන්ට පවා ඡන්ද බලය ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කොට ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

Image copyright Getty Images
Image caption 2010 වසරේ ජනවාරි මස පැවති මැතිවරණයට දින කිහිපයකට පෙර ඡන්ද නාමලේකනයේ සිය නම ඇත්දැයි පිරික්සන උතුරේ අවතැන් වූවෝ

ආදිවාසීන්ගේ නම් විශාල ප්‍රමාණයක් ඡන්ද හිමි නාමලේඛණයට ඇතුළත් වී නොමැති බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඇතුළත් නොවූ නම් ඇතුළත් කිරීමට පියවර ගත් බවයි මහින්ද දේශප්‍රිය වැඩි දුරටත් කියා සිටියේ.

මේ සඳහා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහය ලබා ගැනීමට සිදු වූ බවද ඔහු පැවසුවේය.

ඕනැම අයෙකුට තම ඡන්දය පිළිබදව සැකයක් හෝ ගැටලුවක් වේ නම් ළගම පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් ප්‍රදර්ශනයට තබා ඇති ඡන්ද හිමි නාම ලේඛනය පරීක්ෂා කළ හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.