රනිල්ගෙන් මහින්දට ඇරැයුමක්

Image caption සංහිඳියාවට ආරාධනයක්

ශ්‍රී ලංකාව තුළ සංහිදියාව ඇගොඩ නැඟීම සඳහා දැනටමත් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය සහ උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේස්වරන් ඇතුළු බොහෝ දෙනකු සම්බන්ධවී සිටින අතර ඒ සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම කළේ යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා වූ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති රැස්වීමේ දී මහජනතාව අමතමිනි.

රටේ බොහෝ ගැටළු වල ඇතුළාන්තය ඉස්මතු කරගැනීම පිණිස සත්‍යය කොමිසමක් පත්කිරීමට අවශ්‍ය නීති ඉතා ඉක්මනින් සම්පාදනය කරණ බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එම මහජන හමුවේ දී සඳහන් කළේය.

ජාතිවාදය

මෙහිදී තවදුරටත් කතා කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජාතිවාදය වපුරවමින් සිටි කාලය දැන් අවසන්ව ඇති බැවින් සියළුම ජාතීන් එක්ව ශ්‍රී ලාංකිකයින් ලෙස නැගී සිටිමින් රට දියුණු කළ යුතු බවයි.

ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙන යාම මේ අවස්ථාවේදී ඉතාම වැදගත් බව ඔහු පැවසුවේ ඉන්දියන් සාගරයේ වැදගත්ම කාලය එළඹෙන අවස්ථාවේදී ඉන්දියන් සාගරය මැද පිහිටි රටක් වශයෙන් එහි වාසිය ලබා ගත යුතු අන්දම පැහැදිලි කරමිනි.

රටේ සියළු වර්ග වලට අයත් ජන කොටස් සමාන ජන කණ්ඩායම් වන බැවින් සමානාත්මතාවය තහවුරු වන අන්දමට කටයුතු කළ යුතු බව කී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ''සියළු දෙනාම එකයි''යන්න සිතට ගෙන ක්‍රියා කිරීමේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සහායද අවශ්‍ය බවයි කියා සිටියේ.

දේශප්‍රේමීත්වය

මෝඩ ජාතිවාදයක් කරපින්නාගෙන කටයුතු කිරීම තුළින් කිසිවෙකුටත් යහපතක් නොවන බව කී අගමැතිවරයා සිදුවිය යුත්තේ සියලු දෙනාම බලවත් ජාතියක් බවට පත්වීම යැයිද සදහන් කළේය.

දේශප්‍රේමීත්වය යනු ජාතියක් වශයෙන් බලවත් වීම බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 'ජාතිවාදය දේශප්‍රේමීත්වය නොවන' බවයි පෙන්වා දුන්නේ.

දේශපාලන පක්ෂ ගණනාවක් එකතු වී මෙවැනි රජයක් බිහි කළේ සියළු ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමට බව කී අගමැතිවරයා ඒ තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන බවයි කියා සිටියේ.

බීබීසී යෙන්