පොලිසිය: 'දෙමළ භාෂාවෙන් සන්නද්ධ වූවන්ට විශේෂ අවධානයක්'

පොලිසිය: 'දෙමළ භාෂාවෙන් සන්නද්ධ වූවන්ට විශේෂ අවධානයක්' Image copyright Pujith Jayasundara/FB
Image caption රුපියල් හය කෝටියක වියදමින් ඉදි වූ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පොලිස්පති පූජිත ජයසුන්දර සහ ප්‍රදේශයේ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ

පොලිස් බඳවා ගැනීම් සිදු කිරීමේදී දෙමළ භාෂාවෙන් සන්නද්ධ පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසයි.

දැනට සේවයේ නිරත පොලිස් නිලධාරීන්ට දෙමළ භාෂාව කතා කිරීමට ඇති හැකියාව ඉහළ නංවන අතරේ ඉහත කී කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇති බව අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි නව පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

තිස් අවුරුද්දක යුද්ධය අවසානයේ උතුරේ වැසියන් අතර ගිලිහී ගිය විශ්වාසය නැවත ඇති කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

'ගොඩනැගිලි නැවත ඉදි කරන එක පහසු දෙයක්. කඩ වෙච්ච විශ්වාසය ගොඩ නගන එක ඊට වඩා දුෂ්කර දෙයක්. අපේ ප්‍රධාන අරමුණ ඒ විශ්වාසය ගොඩ නගලා මේ රටේ ජනතාව රට ගොඩනැගීමේ වැඩපිළිවලට එක් කර ගැනීම.'

රජය බලාපොරොත්තු වන එම වැඩපිළිවල සඵල කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහ ජනතාව සමග සමීපව කටයුතු කරනු ඇති බව ඔහු පැවසීය.

'විශ්වාසය ගොඩනැගීම'

සේවය බලාපොරොත්තුවෙන් පැමිණෙන ආබාධිත පුද්ගලයන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකාවේ සියළුම පොලිස් ස්ථාන වෙත රෝද පුටු ලබා දීමට පියවර ගන්නා ලෙස තමා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

අපරාධ සිදු වූ පසු විසඳුම් ලබා දෙනවා වෙනුවට අපරාධ වළක්වා ගැනීමට කටයුතු කිරීම, මත් රකුසාට එරෙහිව සටන් කිරීම, නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම, සාමාන්‍ය ජනතාව සමග සුහදශීලීව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය හා පුහුණුව ලබා දීම, සහ පොලිස් නිලධාරීන්ගේ අනාගත සුබ සිද්ධිය යන කරුණු දෙස අවධානය යොමු කළ යුතු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

1981 වසරේ ආරම්භ වූ ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය 1990 පැවති යුද ගැටුම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය.

1995 වසරේදී යළි පොලිස් ස්ථානය විවෘත වුවත් ග්‍රාම සේවා වසම් දහනවයක දොළොස් දහසක් පමණ වැසියන්ට සේවා සැපයීම සඳහා නිසි පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොතිබිණි.

රුපියල් හය කෝටියක වියදමින් ඉදි වූ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පොලිස්පති පූජිත ජයසුන්දර සහ ප්‍රදේශයේ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්