ජනප්‍රිය පාසල්: 'වෛද්‍යවරුන්ගේ ඉල්ලීම නිදහස් අධ්‍යාපනයට තර්ජනයක්'

ජනප්‍රිය පාසල්: වෛද්‍යවරුන්ට කුඩම්මාගේ සැලකිලි Image copyright Getty/ ISHARA S.KODIKARA
Image caption 'මේ හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වී ගම් පළාත්වල සිට ජනප්‍රිය පාසල්වලට එන දුප්පත් ළමුන්ගේ කෝටා එක අයින් වෙනවා. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම අපි මේකට විරුද්ධ වෙනවා."

ජනප්‍රිය පාසල්වලට වෛද්‍යවරුන්ගේ දරුවන් පමණක් ඇතුළත් කිරීමට ඉඩ ලබා දීම තුළින් නිදහස් අධ්‍යාපනයට බරපතළ තර්ජනයක් එල්ල වන බව ලංකා ගුරු සංගමය පවසයි.

ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් ඒ බව කියා සිටියේ සිය දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා කෝටාවක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරනු ලබන ඉල්ලීම පිළිබඳ සිය විරෝධය පළ කරමිනි.

පළමු ශ්‍රේණියේ පන්තියක සිටින ළමුන් සංඛ්‍යාව 35 කට සීමා විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිර්දේශය උල්ලංඝනය කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එම සීමාව හතළිහ දක්වා දීර්ඝ කොට චක්‍රලේඛයක් නිකුත් කොට ඇති බවත් වෛද්‍යවරුන්ගේ දරුවන්ද එම සීමාවට ඇතුළත් කිරීමෙන් සාමාන්‍ය පවුල්වල දරුවන්ට පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහිමි වන බවත් වෘත්තීය සමිති නායකයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරු, අධිකරණ විනිසුරන් ඇතුළු වරප්‍රසාද ලත් ක්ෂේත්‍ර කීපයක වෘත්තීකයන් ඒ ආකාරයට ජනප්‍රිය පාසල්වලට සිය දරුවන් ඇතුළත් කර ගන්නා බවත් ඔහු පැවසීය.

'දුප්පත් ළමුන්ගේ කෝටා එක'

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය සේවයේ නිරත ලක්ෂ එකොළහකට ආසන්න සෙසු පිරිසට නොමැති විශේෂ වරප්‍රසාදයක් සීමා සහිත පිරිසකට ලබා දීම නිවැරදි නොවන බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් කියා සිටියේ.

"ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ දැනට සිදු වන දේ තවත් වැඩි කිරීමක් තමයි මේ ඉල්ලීමෙන් සිදු වන්නේ."

"මේ හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වී ගම් පළාත්වල සිට ජනප්‍රිය පාසල්වලට එන දුප්පත් ළමුන්ගේ කෝටා එක අයින් වෙනවා. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම මේකට විරුද්ධ වෙනවා."

ශ්‍රී ලංකාව තුළ තිබෙන ජාතික පාසල් තුන්සිය පනහෙන් ඉතා ජනප්‍රිය පාසල් අතර ගැනෙන පාසල් තිස් හයක් සඳහා විශාල තරඟකාරීත්වයක් පවතින බවත් ඔහු සඳහන් කළේය.

Image copyright Getty Images

"පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලංකාව තුළ විධිමත් ප්‍රතිපත්තියක් නැති වීම මේ තරගකාරීත්වයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා."

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දින සියයේ වැඩසටහන තුළ අඩංගු වී තිබූ නමුත් එය ක්‍රියාත්මක නොවූ බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසයි.

"ඒකෙ ප්‍රතිඵලයක් හැටියට පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පාසලට ළමුන් ඇතුළත් කර ගන්න බැරිව සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දරනවා. දෙමාපියන් උද්ඝෝෂණවල නිරත වෙනවා. වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහින් නිදි මරාගෙන එතන ඉන්නවා. ජාතික ප්‍රතිපත්තියක් නැතිකම මේ ගැට‍ළුවට හේතු වෙලා තිබෙනවා."

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා නිසි ප්‍රතිපත්තියක් නොමැතිකම ආණ්ඩුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ වරදක් වුවත් එය දඩමීමා කර ගනිමින් තම දරුවන් පමණක් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමට වෛද්‍යවරුන් දරන උත්සාහයත් නිවැරදි නොවන බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර