'ඇවන්ට්ගාඩ් ප්‍රධානියාට ඇප ලබා දීම අල්ලස් පනතට පටහැණියි'

ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති
Image caption ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති

අල්ලස් චෝදනා මත අත් අඩංගුවට ගනු ලැබූ ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී විශ්‍රාමික මේජර් නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන සැකකරුවන්ට ඇප ලබා දීමට ඉකුත්දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන මෙන් කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මහාධිකරණය එසේ නියෝග කළේ අදාළ ඇප නියෝගයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු 2012 වසරේ ආරක්ෂක අමාත්‍යංශයේ නිලයක් දරමින් සිටින අතරතුර නිශ්ශංක සේනාධිපති විසින් ඔහුට රුපියල් ලක්ෂ 355 ක අල්ලස් මුදලක් ලබා දී ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

අදාළ චෝදනාව යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පෙන්වා දෙන්නේ.

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පසුගිය හය වැනි දින රාත්‍රියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බව පවසන අල්ලස් කොමිසම එහිදී සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ බවත් සඳහන් කරයි.

අල්ලස් පනතට පටහැණිව මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ ඇප ප්‍රදානය සිදු කර ඇති බව අල්ලස් කොමිසමේ චෝදනාවයි.

ඉහත කී මුදලට සාපේක්ෂව ඉතා සුළු මුදලක් අල්ලස් වශයෙන් ලබාගන්නා රජයේ නිලධාරින් රිමාන්ඩ් භාරයට පත් කරන මහේස්ත්‍රාත්වරයා ඉතා බරපතළ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙලෙස ලිහිල් ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් අධිකරණ පද්ධතිය ගැන පවතින මහජන විශ්වාසය පලුදු වන බවත් අල්ලස් කොමිසම පෙන්වාදෙයි.

මේ හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දෙනු ලැබූ ඇප නියෝගය අවලංගු කරන මෙන් අල්ලස් කොමිසම මහාධිකරණය ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට තීන්දු කළේය.

ඒ අනුව ලබන මස 17 වැනි දින අදාළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන මෙන් වගඋත්තරකාර නිශ්ශංක යාපා සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දුට අධිකරණය නියම කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්