'රේගු නිලධාරියා පඹයෙක් කරලා'

පහර
ඡායාරූප ශීර්ෂ වැකිය,

'විවෘත සංවාදයකට එන්න'

රේගු ආඥා පනත අහෝසි කර අලුතින් ගෙන ඒමට සැලසුම් කර ඇති පනත මගින් රේගු නිලධාරියා 'පඹයෙකු' බවට පත් කර ඇති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය පවසයි.

මෙම සංශෝධන පිළිබඳව තම සංගමය සමඟ විවෘත සංවාදයකට එන ලෙස සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ ඒ ගුණතිලක, මුදල් ඇමතිවරයාට අභියෝග කළේය.

'දැනට භාවිත වන රේගු ආඥා පනත කියන්නේ වසර 150ක කාලයක් තිස්සේ කටයුතු කළ රේගු නිලධාරීන්ගේ අත්දැකීම්වල සම්පිණ්ඩනයක්. මේ ආඥා පනත සහ නව යෝජනාවලිය එකට තිබ්බොත් මේ අලුතින් හදල තියෙන එක නිකම්ම නිකං කඩමල්ලක්. රේගු නිලධාරියා තනිකරම පඹයෙක් බවට පත් කරලා.' බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසීය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

'රේගුව තුළ සිදුවන වංචා සහ දූෂණවලට වැට බැඳෙන බැවින්'

මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා මුදල් ඇමතිවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසීය දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

රේගුව තුළ සිදුවන වංචා සහ දූෂණවලට වැට බැඳෙන බැවින් මෙම නව පනතට රේගු නිලධාරීන් එරෙහි වී ඇති බවට නැගෙන චෝදනා පිළිබඳව බීබීසීය විමසූ විට සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම්වරයා කියා සිටියේ මෙහි යටි අරමුණ වී ඇත්තේ ජාවාරම්කරුවන්ට සහන සැලසීම බවයි.

'නංගි පෙන්නලා අක්ක දෙන වැඩේ'

'මේ කරන්නේ නංගි පෙන්නලා අක්ක දෙන වැඩේ. ජනතාවට කියන්නේ රේගු නිලධාරීන් හොරකම් කරන නිසා මේක ගේනවා කියල. ඒක අමූලික බොරුවක්. ඒක නැති කරන්න නම් මුදල් ඇමතිවරයා මේ එන්නේ අපි අත් දෙකම උස්සනවා. ඒත් ඒකට නෙමෙයි මේ එන්නේ.' සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ ඒ ගුණතිලක පැවසීය.

කෙසේ නමුත් ඇතැම් රේගු නිලධාරීන් ද අක්‍රමිකතාවල යෙදෙන බව පිළිගත් ලේකම්වරයා කියා සිටියේ දේශපාලකයන් ගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් නිසා එය එසේ සිදු වන බවයි.

'මේක හැදෙන්න ඕන දේශපාලකයාගේ පටන්. ඔවුන් හොරකම් කරන තාක් නිලධාරීන් ගේ හොරකම් නවත්වන්න බැහැ.' ඔහු පැවසීය.

කෙසේ නමුත් මුදල් ඇමතිවරයා සාකච්ඡාවක් ලබා නොදීම හේතුවෙන් අකුරට වැඩ කිරීම ආරම්භ කළ බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.