තවත් යුද්ධයකට ඉඩක් නැහැ -ජනාධිපති

Image caption ජනාධිපතිවරයා සමුළුව අමතමින්

දුගී භාවය අද මුළු ලෝකය පුරාම පවතින බරපතළ අභියෝගයක් බැවින් 2017 වර්ෂය ශ්‍රී ලංකාව දුගී භාවයෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස නම් කර ඇති අතර ආර්ථීක සංවර්ධනය මුල් කර ගත් රටක ජනතාවගේ සියළු ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සකස් කිරීමේ කාර්යයට තමා ප්‍රමුඛත්වය දී ඇති බවත් රටතුළ තවත් යුද්ධයකට ඉඩ නොතබන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ එක්සත් ජාතීන්ගේ 71 වැනි සම්මේලනය අමතමිනි.

ශ්‍රී ලංකාවේ නව පරිවර්තනීය යුගයක් ආරම්භ කරමින් ගෙවී ගිය මාස විස්සක පමණ කාල සීමාව තුළ රටට අවශ්‍ය දේශපාලන, ආර්ථීක ප්‍රතිසංස්කරණ සඳහා සිය රජය මූලිකත්වය ලබා දී ඇති බවයි ජනාධිපතිවරයා නිව්යෝර්ක් නගරයේ දී සමුළුවට සහභාගී වෙමින් සිටි රාජ්‍ය නායකයන් සහ වෙනත් දූත මණ්ඩල ඉදිරියේ සඳහන් කළේ.

බියෙන් තොර රටක්

'විශේෂයෙන්ම මගේ රජය බලයට පත්වීමට පෙර ශ්‍රී ලංකාව තුළ පැවති, ජනතාව බියෙන් හා සැකෙන් යුතුව ජීවත් වූ පසුබිම ඉවත් කරමින් සතුටින්, නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සියළු දෙනාට ජීවත් වීමට අවශ්‍ය මූලික පදනම සකස් කරමින් එම කටයුතු අපි ශක්තිමත් කර ඇතැයි' ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකාව කැප වී සිටින්නේ තිරසර සංවර්ධනය ප්‍රමුඛතාවයෙහිලා සලකමින් සමාජයට, රටට අවශ්‍ය වෙනස්කම් ඉටු කිරීමට වන අතර මූලික වශයෙන් අවශ්‍ය ආර්ථීක ජයග්‍රහණ ලබාගැනීමට ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

පරිසර සංරක්ෂණය පිළිබඳව යොමු වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පැරිස් සමුළුවේ දී ඇතිකර ගත් ප්‍රඥප්තීන් තුළ කටයුතු කරමින් සිදු කරන අවශ්‍ය මූලික වෙනස්කම් සමඟ රටේ පරිවර්තනීය යුගය තුළ සියළු අංශවල වෙනස්කම් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙන බවයි.

පැරිස් ප්‍රඥප්තිය

උගත්, තරුණ පරපුර වෙනුවෙන් දැනුම පාදක කරගත් ආර්ථීක ප්‍රතිපත්තීන් සමඟ නවෝත්පාදන ආර්ථීකය, වගේම හරිත ආර්ථීකය සමග ශ්‍රී ලාංකීය සමාජය තුළ නව සැළසුම් ඉලක්ක කරගත් ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් අප හඳුනා ගෙන තිබෙනවා 'ජනාධිපතිවරයා පවසයි.

රටේ නිදහස් සෞඛ්‍යය සේවාව, නිදහස් අධ්‍යාපනය නව දැනුම තුළ කෘෂිකාර්මික සංවර්ධනය, දේශීය කර්මාන්ත සංවර්ධනය හා දේශීය කාර්මික කරණය තුළ මූලික වශයෙන් ජනතාවට වැඩි පහසුකම් ලබා දීම සඳහා කටයුතු කිරීම සිය රජයේ ප්‍රමුඛ අරමුණක් බවට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

අද ලෝකයේ බොහෝ රාජ්‍යයන්හි යුද්ධයේ විවිධ ස්වභාවයන් ඇතැම් විට ඉතාමත් ම්ලේච්ඡ තත්වයන් මෙන්ම අසමගිය, ද්වේෂය, වෛරය මුහුකුරා ගිය සමාජයන් දකින්නට ඇති බව සඳහන් කළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මානව සමාජයට අවශ්‍ය ශිෂ්ඨත්වය අද බරපතළ ප්‍රශ්නයක් බවට පත් වී ඇති ආකාරය පෙන්වා දෙමින් සමාජයේ ඇති වී තිබෙන බොහෝ ගැටුම්වල දී ශිෂ්ඨත්වය මුල් කරගත් ප්‍රජාවක් බිහි කිරීමේ කාර්යයට සෑම රාජ්‍යයක්ම මූලිකත්වය දිය යුතු බවයි කියා සිටියේ.

බෞද්ධ සහ වෙනත් ආගමික දර්ශන

' ලංකාව බෞද්ධ රටක් විදියට, ථේරවාදී බෞද්ධ දර්ශනය තුළ පෙන්නුම් කරන දර්ශනය ලෝකයේ බොහෝ ප්‍රශ්න විසඳීම සඳහා ඉතා වැදගත් බව මාගේ හැඟීමයි. ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම් ධර්මය වගේම හින්දු ධර්මය ඇතුළු අනෙකුත් ආගම් තුළ ආධ්‍යාත්මික දර්ශනයන් වඩ වඩා පුළුල් කිරීම සහ ඒ සඳහා සියළු රාජ්‍යයන්හි ආශිර්වාදය අවශ්‍ය යුගයක් ලෙසයි මම දකින්නේ' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

'ශ්‍රී ලංකාව වගේම ලෝකයේ බොහෝ රාජ්‍යයන් මුහුණ දී තිබෙන බරපතළ ප්‍රශ්න පිළිබඳව සමුළුවේ අවධානය යොමු කිරීමට මම කැමතියි. ඒ තමයි මුළු මහත් මානව සමාජය පාසල් දරුවන් ප්‍රමුඛව දැඩි ව්‍යසනයකට, ඛේදවාචකයකට ලක් වී තිබෙන මත් ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය' ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෝකයට උවදුරක් වී ඇති මත් ද්‍රව්‍ය උවදුර කෙරෙහිත් ලෝකයේ අවධානය යොමු කළේය.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජය ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ යහපාලනය මෙන්ම නීතියේ ආධිපත්‍යය සහතික කිරීමට අවශ්‍ය බොහෝ පියවර ගණනාවක සුබවාදී පරිවර්තන තුළින් ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් නැවත ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා සියළු පියවර මේ වන විට ගෙන තිබෙන බවයි සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර