මේ 'එළුග ශ්‍රීලන්කන්' යුගයයි - මනෝ

'මේ යුගය ශ්‍රී ලාංකිකයනි නැගිටිව් කියන යුගය. එළුග ඉලංගෛ කියන පාඨය තුළ එළුග සිංහල, එළුග තමිල්, එළුග මුස්ලිම් සියලු දෙනාම ඉන්නවා.' Image copyright Mano Ganesan/FB
Image caption 'මේ යුගය ශ්‍රී ලාංකිකයනි නැගිටිව් කියන යුගය. එළුග ඉලංගෛ කියන පාඨය තුළ එළුග සිංහල, එළුග තමිල්, එළුග මුස්ලිම් සියලු දෙනාම ඉන්නවා.'

යුගයේ අවශ්‍යතාව විය යුත්තේ 'එළුග තමිල්' නොව 'එළුග ඉලංගෛ' හෙවත් 'ශ්‍රී ලාංකිකයනි නැගිටිව්' යන්න බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීමේ අරමුණින් 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිව්' යන මැයෙන් යාපනයේදී ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.

'එළුග ඉලංගෛ' හෙවත් 'ශ්‍රී ලාංකිකයනි නැගිටිව්' යන පාඨය පෙරදැරි කර ගනිමින් වර්තමානය තුළ රට හමුවේ ඇති අභියෝග ජය ගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජන කොට්ඨාශ පෙළ ගැසිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් පෙන්වා දෙයි.

'මේ යුගය ශ්‍රී ලාංකිකයනි නැගිටිව් කියන යුගය. එළුග ඉලංගෛ කියන පාඨය තුළ එළුග සිංහල, එළුග තමිල්, එළුග මුස්ලිම් සියලු දෙනාම ඉන්නවා.' ඇමතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අද (24) යාපනයේ පැවති 'එළුග තමිල්' ව්‍යාපාරය විරෝධතාවක් ලෙස නොසලකා කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

Image caption යාපනයේ පැවති 'එළුග තමිල් උද්ඝෝෂණ ව්‍යාපාරය

පශ්චාත් යුද සමයේ තමන්ට මුහුණ පෑමට සිදු වී ඇති දුෂ්කරතා හඬ ගා කීමට උතුරේ වැසියන්ට ඇති අවශ්‍යතාව තේරුම් ගත යුතු බවයි ඇමතිවරයා කියා සිටියේ.

අතීතයේ එවකට පැවති අවශ්‍යතාවට අනුව ජාතීන් මුල් කර ගනිමින් යම් යම් පිබිදීම් ඇති වුවත් එය අද අවශ්‍යතාවට කොතෙක් ගැළපෙන්නේ දැයි ඇමතිවරයා ප්‍රශ්න කරයි.

'සිංහලයනි නැගිටිව්, දමිලයනි නැගිටිව්, මුසල්මාන්වරුනි නැගිටිව් කියලා ඒ කාලේ කිව්වා. අනගාරික ධර්මපාලතුමා ඒ කාලේ කිව්වා සිංහලයනි නැගිටිව් කියලා. ඒකට සාධාරණ හේතු තිබ්බා.' ඇමතිවරයා සඳහන් කළේය.

ජාතික ගැට‍ළුවට විසඳුමක් ලබා දෙන නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සංවාද මණ්ඩලයක් ලෙස කටයුතු කරන බවයි ඇමතිවරයා පවසන්නේ.

ඒ සඳහා සාමාජිකයන් විසි එක් දෙනකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කොට ඇති බවත් ආණ්ඩු පක්ෂය, විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂවලට අයත් පාර්ලිමේන්තු සාමාජිකයන් එහි කටයුතු කරන බවත් අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර