හෙළ උරුමය නායකත්වයේ වෙනසක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හෙළ උරුමය නායකත්වයේ වෙනසක්

ජාතික හෙළ උරුමය පක්ෂ නායකත්වයෙන් තමන් ඉවත් වන නමුත් එය පක්ෂ අභ්‍යන්තරයේ ගැටුමක් හේතුවෙන් ගත් තීන්දුවක් නොවන බව එහි හිටපු නායක ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.

නායකත්වයෙන් ඉවත් වීම හදිසියේ තීරණය ගනු ලැබූ තීරණයක් නොවූ බව පෙන්වා දුන් ඕමල්පේ සෝභිත නා හිමියෝ වැඩි දුරටත් කියා සිටියේ ජාතික ආගමික සහ වෙනත් සමාජමය වැඩ කටයුතු සමග පක්ෂය වෙනුවෙන් කාලය යෙදවීමට ඇති අපහසුව තමන් පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම් දුන් බවයි.

ජාතික හෙළ උරුමය පක්ෂ සම්මේලනය අද (24) පැවැත්වුන අතර පක්ෂයේ ප්‍රධාන ලේකම් පදවිය මහ නගර සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය පාඨලී චම්පික රණවකට හිමි විය.

මේ අතර ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන හෙළ උරුමයේ සම සභාපතිවරයෙකු වශයෙන් පත් කර ගනු ලැබ ඇත.

නායකත්වයෙන් ඉවත් වීමේ තීන්දුව පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවේ දී සෝභිත නා හිමියන් කියා සිටියේ තමා ලද මන්ත්‍රී පදවියත් ආපසු පක්ෂයට පැවරීමට මින්පෙර පියවර ගත් අතර එම තීන්දුව පිළිබඳව තමා සතුටු වන බවයි.

ජාතික හෙළ උරුමය නායකත්වයෙන් ඉවත් වෙන නමුත් පක්ෂයෙන් හෝ ජාතික කාරයභාරයෙන් ඉවත් වීමක් එමගින් සිදු නොවන බවයි උන්වහන්සේ පවසන්නේ.

හෙළ උරුමය ආණ්ඩුව තුල රැඳී සිටීම පිළිබඳව විමසීමක් කළ විට 'රජය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් 100% ක තෘප්තිමත්භාවයක් තමන්ට නොමැති බව පැවසූ ඕමල්පේ සෝභිත නා හිමියෝ සන්ධානයක් තුළ සිය පක්ෂයේ මතයම ක්‍රියාත්මක කළ නොහැකි වුවත් පක්ෂයේ වටිනාකම් හැකි පමණ නිරූපනය කිරීමට උත්සාහ දරන බවයි' කියා සිටියේ.

උන්වහන්සේ බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවට මෙම පිටුවෙන් සවන් දෙන්න.

සබැඳි විෂයයන්