විදෙස් සංචාර වියදම 'ලක්ෂ හාරසිය පනහ දක්වා අඩු කළා'

  • 2016 සැප්තැම්බර් 25
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා දිසානායක ජනාධිපතිවරයාගෙන් Image copyright president.gov.lk
Image caption ''හොඳට වැඩ කරපු පළාත් සභාවක් වශයෙන් මට ඊට අනුමැතිය දෙන්න වෙනවා. නමුත් මෙපමණ අඩුපාඩු තිබෙන රටක් මෙවැනි මුදලක් වැය කිරීම සුදුසුයි කියලත් මම කියන්නේ නැහැ,''

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ රුසියානු සංචාරය සඳහා වැය කිරීමට නියමිතව තිබූ මුදල ලක්ෂ හාරසිය පනහ දක්වා කප්පාදු කොට ඊට අවසර ලබා දුන් බව එම පළාතේ ආණ්ඩුකාරවරිය නිලූකා දිසානායක පවසන්නීය.

එම මුදල තවදුරටත් අඩු කිරීමේ හැකියාව සොයා බලන ලෙස තමා පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවත් ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

මධ්‍යම පළාත් සභාව අති බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක රුපියල් ලක්ෂ හයසිය පනහක රජයේ වියදමින් මන්ත්‍රීවරුන් පිරිසක් රුසියාවේ නිල සංචාරයක යෙදීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළ විය.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක කියා සිටියේ, ඉහත කී සංචාරය සඳහා මුදල් වෙන් කොට තිබුණේ තමා සිය ධුරය භාර ගැනීමට පෙරාතුව පළාත් සභාවේ ගියවර අයවැය තුළින් බවයි.

'අඩුපාඩු තිබෙන රටක්'

''ඒ සඳහා දෙගුණයක් මුදල් වෙන් කොට ගෙන තිබුනා. දැන් එය තුන් කාලකට අඩු කොට තිබෙනවා.''

මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් හැර ශ්‍රී ලංකාවේ සෙසු පළාත් සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉහත කී රුසියානු සංචාරයේ යෙදී ඇති බව සඳහන් කළ ඇය, සංචාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් දැනුවත් කර ඇතැයි දැනුම් දුන් බැවින් සංචාරයට අනුමැතිය ලබා දුන් බවත් කියා සිටියාය.

''හොඳට වැඩ කරපු පළාත් සභාවක් වශයෙන් මට ඊට අනුමැතිය දෙන්න වෙනවා. නමුත් මෙපමණ අඩුපාඩු තිබෙන රටක් මෙවැනි මුදලක් වැය කිරීම සුදුසුයි කියලත් මම කියන්නේ නැහැ,''

"පළාත් සභාවේ ඒකමතික තීන්දුවක් වළක්වන්න ගියොත් ඔබ දන්නවා ඒක උඩුගං බලා පීනනවා වගේ බරපතළ ප්‍රශ්නයකට තුඩු දෙනවා," මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක වැඩිදුරටත් කියා සිටියාය.

මින් පසු මෙතරම් විශාල මුදලක් වැය කෙරෙන විදෙස් සංචාර සඳහා තමා අනුමැතිය ලබා නොදෙන බවත් ඇය සඳහන් කළාය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්