'එළුග තමිල් ව්‍යාපාරයට TNA සම්බන්ධයක් නැහැ'

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් Image copyright M.A Sumanthiran/ FB
Image caption දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ 'එළුග තමිල්' වැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීම සුදුසු නොවන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිවු' උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබෙන්නේ උතුරු පළාත් මහ ඇමතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන දෙමළ ජනතා සභාව විසිනි.

ජාතික ප්‍රශ්නය ඇතුළු රට හමුවේ ඇති ගැට‍ළුවලට විසඳුම් ලබා දෙන නව ව්‍යවස්ථාවක් පිළිබඳ දෙමළ ජාතික සන්ධානය ඇතුළු රටේ සෙසු පක්ෂ අතර සාකච්ඡා පැවතෙමින් තිබෙන අතරතුර 'එළුග තමිල්' උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කිරීම සුදුසු නොවන බව සිය පක්ෂය දෙමළ ජනතා සභාවට පෙන්වා දුන් බවයි, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් බීබීසී සංදේශයට කියා සිටියේ.

කෙසේ වෙතත් තම අදහස නොතකා දෙමළ ජනතා සභාව 'එළුග තමිල්' උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කළ බව සඳහන් කළ මන්ත්‍රීවරයා දේශපාලන පක්ෂයක් වශයෙන් ඊට දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධයක් නොමැති බවයි අවධාරණය කළේ.

'එළුග තමිල්' උද්ඝෝෂණය හේතුවෙන් දකුණේ ජනතාව දෙමළ ජාතික සන්ධානය පිළිබඳ වැරදි අවබෝධයක් ඇති කර ගන්නා බව කියා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් එවැනි වැරදි අදහසක් ඇති වීම මේ අවස්ථාවේ සිදු නොවිය යුතු බවත් පැවසීය.

'දකුණේ වැරදි මතයක්'

සියලුම පක්ෂ නියෝජනය කෙරෙන ව්‍යවස්ථාදායක මණ්ඩලය හරහා සෙසු ජන කොටස්වලට මෙන් දෙමළ ජනතාවටත් පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට හැකි වනු ඇති බවයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා කියා සිටියේ.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණින් 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිවු' යන මැයෙන් සංවිධානය කෙරුණ ව්‍යාපාරය දකුණේ සිංහල බෞද්ධ ප්‍රජාව වරදවා වටහා නොගත යුතු යැයි උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේස්වරන් මීට ඉහතදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ යුගයේ අවශ්‍යතාව විය යුත්තේ 'එළුග තමිල්' නොව 'එළුග ඉලංගෛ' හෙවත් 'ශ්‍රී ලාංකිකයනි නැගිටිව්' යන්න බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර