නව නිපැයුම්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව නිපැයුම් දිරි ගන්වන 'නව සැලැස්මක්'

උසස් මට්ටමේ නව නිපැයුම් වාණිජ මට්ටමට රැගෙන ඒම සහ ව්‍යවසායකයන්ට හඳුන්වා දීම සඳහා වැඩසටහනක් සකස් කර ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ 2016 වසර සඳහා වූ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය අතරතුර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

නව නිපයුම් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම නිපැයුම් කරුවන් හා ව්‍යවසායකයන් මුණ ගැස්වීම සඳහා ස්ථිර ප්‍රදර්ශනාගාරයක් බොරැල්ලේ පිහිටුවන බවද ඇමතිවරයා සඳහන් කළේය.

රටේ සම්පත්වලින් උපරිම ඵල නෙළා ගැනීම සඳහා නව නිපැයුම් කෙරේ යොමු විය යුතු බව කියා සිටි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් රජයෙන් ලබා දෙන බවයි පවසන්නේ.

සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගය පසුගිය සති අන්තයේදී කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදි පැවැත්විණ.

'නව නිපැයුම් 305 ක්'

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම විසින් ප්‍රදර්ශනය හා තරගය සංවිධානය කොට තිබිණි.

නව නිපැයුම් 305 ක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබූ අතර පාසල්, විශ්වවිද්‍යාල හා විවෘත අංශය ලෙස කාණ්ඩ 3 ක් යටතේ ප්‍රදර්ශනය පැවැත්විණ.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ විදුලි කාර්මික නිලධාරියකු වශයෙන් සේවය කරන සමන් සේනාධීර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කොට තිබුණේ නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු හැඟවීම් නිකුත් කළ හැකි උපකරණයකි.

තමන් විසින් ඉහත කී උපකරණය නිර්මාණය කරනු ලැබුවේ ලාභ ලැබීමේ අරමුණකින් නොවන බව කියා සිටි සමන් සේනාධීර තවමත් ප්‍රාථමික අදියරේ පවතිනඋපකරණය තවත් වැඩිදියුණු කිරීමට සහයෝගයක් ලැබෙනු ඇති බවයි සඳහන් කළේ.

සුදු සැරයටියක්

කුරුණෑගල එම් චන්ද්‍රසේන මින් පෙරත් විවිධ නව නිර්මාණ සිදු කර ඇති නිපයුම් කරුවෙක්. ඔහු විසින් ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනු ලැබ තිබුණේ අන්ධ පුද්ගලයන් විසින් භාවිත කරනු ලබන බෙල් ක්‍රමය හා සම්බන්ධ මෘදුකාංගයක් සහිත උපකරණයකි.

ඒ හරහා අන්ධ පුද්ගලයකුට පොතක් පවා ලිවිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

පාසල් අංශයෙන් මාවතගම මාධ්‍ය මහා විද්‍යාලයේ තාරුක දිල්ෂාන් සිසුවා ප්‍රදර්ශනයට ඉදිරිපත් කොට තිබුණේ අන්ධ පුද්ගලයන්ට හා කඳු නගින්නන්ට භාවිතා කළ හැකි සුදු සැරයටියකි.