'මුදල් ඇමතිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිරිහැරයක් නැහැ'

''ඒක වැරදි අර්ථකතනයක්. එහෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිරිහැරයක් නැහැ.'' Image copyright Getty Images
Image caption ''ඒක වැරදි අර්ථකතනයක්. එහෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිරිහැරයක් නැහැ.''

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තමාට හිරිහැර එල්ල වන බවක් මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇතැයි සඳහන් කරමින් පළ වූ මාධ්‍ය වාර්තා 'මුදල් ඇමතිවරයාගේ අදහස වැරදි ආකාරයට විග්‍රහ කිරීමක්' වන බව රාජ්‍ය ව්‍යවසාය හා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.

නියෝජ්‍ය ඇමතිවරයා එම අදහස් පළ කළේ, වැට් පනත සම්මත කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමාට හිරිහැර කරන බවක් මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසූ බවක් සඳහන් කරමින් පළ වූ වාර්තා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී.

ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන හා කටයුතු කිරීමේදී මුදල් ඇමතිවරයා හා එම ආයතන අතර පණිවුඩ හුවමාරු වන නමුත් මුදල් ඇමතිවරයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉහත කී ආකාරයේ හිරිහැරයක් සිදු වී නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සඳහන් කළේ.

''ඒක වැරදි අර්ථකතනයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඒ වගේ හිරිහැරයක් නැහැ. අපේ රජය අපේ ආර්ථිකය ගෙනයන්නේ අපේ අවශ්‍යතාවට අනුවයි.අපි තීන්දු ගන්නේ අපි විශ්වාස කරන ආර්ථික මූලධර්ම වලට අනුවයි'' බීබීසීයේ තිසර රතුවිතාන සමඟ නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

වැට් පනත ක්‍රියාත්මක කිරීමේදී පිරිවැය අඩු ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටළු මතු වන බවත් ඒ හේතුවෙන් ඊට යම් කිසි විරෝධතාවක් එල්ල වන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

ණය වාරික සහ මන්ත්‍රී වාහන

කෙසේවෙතත් රටේ ණය වාරික ගෙවීමට රාජ්‍ය ආදායමෙන් 97% පමණ වැය වන බවත් ඔහු පෙන්වා දෙයි.

''දැනට දළ දේශීය නිෂ්පාදනය සියයට දොළහේ සිට සියයට දහතුනයි දශම පහ දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රගතියක් තිබෙනවා.''

ජනතාවට පටි තද කර ගැනීමට සිදු වී ඇතත් ආණ්ඩුවේ මැතිඇමතිවරුන් වෙනුවෙන් වැය කෙරෙන මුදල් කප්පාදු කිරීමේදී නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ඇතැම් පිරිස් කරන චෝදනා සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ 'ඇතැම් කරුණු සම්බන්ධයෙන් වෙනසක් විය යුතු' බවයි.

''උදාහරණයක් වශයෙන් ඇතැම් අය අහනවා මෙපමණ අලුත් වාහන අවශ්‍යද කියලා. එවැනි ඇතැම් කරුණු පිළිබඳ සොයා බලා සමහර විට අපිට වියදම් අඩු කරන්න පුළුවන්.''

''අපේ ආණ්ඩුව බලයට පත් වෙලා තවමත් අවුරුද්දක් පමණයි. අපේ ආණ්ඩුව යම් කිසි මූල්‍ය පාලනයක ඉන්නවා. නමුත් මම පිළිගන්නවා මූල්‍ය පාලනය මීට වඩා දියුණු කරන්න පුළුවන් බව''

මීළඟ අයවැය තුළින් අදාළ මූල්‍ය පාලනයන් සිදු කෙරෙනු ඇති බවයි රාජ්‍ය ව්‍යවසාය හා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න වැඩිදුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර