ලසන්ත ඝාතනය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලසන්ත සිරුර හඳුනාගැනීම: 'ජීවිතේ දුෂ්කරම අවස්ථාව'

ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය හඳුනා ගැනීම සිය ජීවිතයේ මුහුණ දුන් දුෂ්කරම අවස්ථාව බව සන්ඩේ ලීඩර් පුවත්පතේ ඔහු සමග සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම පවසයි.

අඟහරුවාදා ගොඩ ගැනුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් වන ලෙස ඔහුගේ පවුලේ ඥාතීන් මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල්ගෙන් ඉල්ලීමක් කොට තිබිණි.

බොරැල්ල සුසාන භූමියේ දේහය මිහිදන් කොට තිබූ ස්ථානය හඳුනා ගැනීමෙන් අනතුරුව එය ගොඩ ගන්නා අවස්ථාවේ තමා දැඩි කම්පනයටත් සංවේගයටත් පත් වූ බව මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමග අදහස් දක්වමිනි.

දීර්ඝ කාලයක් සමීපව කටයුතු කළ වෘත්තීය සගයාගේ දේහය ඒ ආකාරයට දැක ගැනීම දරා ගත නොහැකි වේදනා බර අත්දැකීමක් වූ බවයි ඇය කියා සිටියේ.

"ඒ වේදනාව, මට වගේම ලසන්තගේ පවුලේ දරුවන් ඇතුළු සෑම දෙනාටම දැනෙනවා. මම හිතනවා දැන්වත් ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉටු කරලා දිය හැකි නම් මේ ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින්නේ එතනයි," සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතුවරියක වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම වැඩිදුරටත් කියා සිටින්නීය.

ඝාතනය පිළිබඳව සැකපිට හමුදා බුද්ධි අංශ සාමාජිකයකුද අත්අඩංගුවට ගෙන තිබෙන නමුත්, ඝාතනය සඳහා අණ දුන් පුද්ගලයන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඇය අවධාරණය කළාය.