රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය අත්හිටවේ

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල Image copyright Ramith Rambukwella/FB
Image caption ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල

රිය අනතුරක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා දෙකකට පමණක් වරද පිළිගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීහු අධිකරණය හමුවේ පැවසූහ.

පසුගියදා කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ සිදු වූ රිය අනතුරකින් අනතුරුව අත්අඩංගුවට ගැනුණු රමිත් රඹුක්වැල්ලට එරෙහිව අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම, අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බිමත්ව රිය පැදවීම ඇතුළු චෝදනා පහක් යටතේ පොලිසිය විසින් නඩු පවරණු ලැබ තිබේ.

රමිත රඹුක්වැල්ල මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ලගේ මන්ත්‍රීවරයාගේ පුත්‍රයායි.

අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ රමිත් රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ කියා සිටියේ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම යන චෝදනාවලට පමණක් වරද පිළිගැනීමට ඔහු සූදානම් බවයි.

ඒ අනුව රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Image copyright Ramith Rambukwella/FB
Image caption "මේක ලෝකයේ සිදු වුණු පළමුවැනි රිය අනතුර නොවෙයි. අධිකරණය සාධාරණ තීන්දුවක් දේවි," පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල

රමිත් රඹුක්වැල්ල මේ වන විට පොලිස් ඇප මත මුදා හැර සිටී.

"මේක ලෝකයේ සිදු වුණු පළමුවැනි රිය අනතුර නොවෙයි. අධිකරණය සාධාරණ තීන්දුවක් දේවි," පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

'සිහිනෙන් ඇවිදීම'

2013 වසරේ ගුවන් යානයකදී බීමත්ව හැසිරුණු බවට රමිත් රඹුක්වැල්ලට චෝදනා එල්ල විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් යානයකින් බ්‍රිතාන්‍යය බලා පියාසර කරමින් සිටියදී වැසිකිලියේ දොර බව සිතා ඔහු යානයේ දොරටුව විවෘත කිරීමට උත්සාහ කොට ඇති බව ලන්ඩනයේ පළ වන ඩේලි මේල් පත්‍රය වාර්තා කොට තිබිණ.

සිහිනෙන් ඇවිදිමින් සිටි තමන් වැරදීමකින් වැසිකිළි දොර යයි සිතා ගුවන් යානා දොර විවෘත කිරීමට උත්සාහ දැරූ බවයි, ඒ අවස්ථාවේ රඹුක්වැල්ල කියා සිටියේ.

ඔහු බීමතින් සිටි විලාසයක් පෙනුණු බවත් බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවකයන් පැමිණ සන්සුන් කරන තුරු රමිත් රඹුක්වැල්ල විනාඩි දෙකක් පමණ දොර අගුල තදින් අදිමින් සිටි බවත් සිද්ධිය සියසින් දුටුවන් පවසා තිබිණි.

එම චෝදනාව සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ලට දැඩි සේ අවවාද කොට තරග ආදායමින් අඩක් දඩ වශයෙන් ගෙවීමට නියම කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ අවස්ථාවේ සඳහන් කළේ.

බීබීසී යෙන්