කෘෂිකර්මය ඉගෙන ගන්න මධ්‍යම පළාත් සභාවම රුසියාවට

රුසියාවේ ගොවියෙක්
Image caption රුසියාවේ ගොවියෙක්

මධ්‍යම පළාත් සභාවේ මැති ඇමතිවරුන් සියලු දෙනාම රුසියාවට යාමට රුපියල් කෝටි ගණනක මුදල් වෙන් කරගෙන ඇත්තේ කෘෂිකර්මය හා පළාත් සභා පිළිවෙත ඉගෙනීම සඳහා බව ආණ්ඩුකාරවරිය පවසන්නීය.

මෙම මුදල් සම්භාරය මධ්‍යම පළාත් සභාවේ පසුගිය වසරේ අයවැයෙන් වෙන් කරගෙන තිබූ බවයි මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නිලුකා දිසානායක කියා සිටියේ.

දුප්පත් ජනතාවගේ බදු මුදල් මේ වෙනුවෙන් වැය කිරීමේ සදාචාරාත්මක භාවය පිළිබඳව ප්‍රශ්න කළහොත් ආණ්ඩුකාරවරිය හැටියට ජනතාව ඉදිරියේ පිළිතුරු බඳින්නේ කෙසේදැයි බීබීසීයේ තිසර රතුවිතාන ප්‍රශ්න කළ විට ඇය මෙසේ පිළිතුරු දුන්නාය.

'මම ඉතාමත් ගරු කොට සලකනවා ඒ ප්‍රශ්නය ඇසීම ගැන. අපි හැමෝම වගවීම ගැන අවබෝධයකින් කටයුතු කරන්න ඕන. හැබැයි මන්ත්‍රීවරුන් හැටියට, ලේකම්තුමන්ලා හැටියට ජනතා සේවයට ජීවිත කැප කරන එතුමන්ලාට තියෙන වරප්‍රසාදයක්, වරදානයක් භුක්ති විඳීම ඒ තරම් වරදක් නැහැ. හැබැයි සදාචාර සම්පන්නව කාලෝචිතව හිතා බලා ඒවා භුක්ති වින්දොත් හොඳයි කියන තැනයි මම ඉන්නේ.'

Image caption නිලුකා දිසානායක සිය ආණ්ඩුරකාර පදවිය භාර ගත් අවස්ථාව

මහ ඇමතිවරයා

'පළාත් සභාවක පුරා වසර 12ක් වැඩ කරන මහ ඇමතිවරකුට අගෞරවයක් වෙනව නේද ජනාධිපතිවරයාගේ වාචික අවසරය ලැබුණු බව කියද්දී, මට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. අකමැත්ත ප්‍රකාශ කරමින් තමයි මම අනුමැතිය දුන්නේ.. මට එකඟ වෙන්න සිදු වුනා මිසක් මම අනුමත කළාමත් නොවෙයි.' ඇය තව දුරටත් පැවසුවාය.

කෙසේ නමුත් මන්ත්‍රීවරුන් සහ ලේකම්වරුන් 29 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම මේ වන විට රුසියාවට ගොස් සිටින අතර ඉතිරි 35 දෙනාගේ රුසියානු සංචාරය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර