මුතුරාජවෙල අනතුරේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුතුරාජවෙල අනතුරේ

  • 2016 සැප්තැම්බර් 29

ඉදිකිරීම් සඳහා වගුරු බිම් ගොඩ කිරීම නිසා ශ්‍රී ලංකාවේ විශාලතම වෙල් යායක් වන මුතුරාජවෙල විනාශ වීමේ අවදානමකට ලක් වී ඇති බව පරිසර ක්‍රියාධරයෝ පවසති.

ඉවක් බවක් නොමැතිව සිදු කරන මෙම ඉඩම් ගොඩ කිරීම, ජාඇල ප්‍රදේශයේ පදිංචි පවුල් පනස් දහසකගේ පමණ ජන ජීවිතයට බලපෑම් ඇති කරන බවයි දෑලතුර සුරැකීමේ සංවිධානයේ සභාපති අජිත් ලක්ෂ්මන් පෙරේරා පවසන්නේ.

'මේක ලංකාවේ තියෙන විශාලම වෙල් යායක්. මේක විනාශ වුනොත් මුළු ජන ජීවිතයම වෙනස් වෙනව. මසුන් පද්ධතිය විනාශ වෙනව. කඩොලාන විනාශ වෙනව. මේක ගොඩ කෙරුවොත් ලොකු විනාශයක් වෙනවා.' ඔහු පැවසීය.

මුතුරාජ වෙල ආශ්‍රිත වගුරු බිම් අක්කර දහස් ගණනක් අනවසරයෙන් ගොඩ කරමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ද පිළිගත්තේය.

'දේශපාලනඥයන්ගෙන් බලපෑම්'

ගම්පහ ප්‍රදේශයේ සිට ගලා එන ජලය බැස යාමට පවතින මෙම වගුරු බිම් ගොඩ කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් සංවිධාන ගත වීම වළක්වාලීමට දේශපාලනඥයන් බලපෑම් කරන බවයි ශ්‍රම අභිමානී කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සරත් ඉද්දමල්ගොඩ පියතුමා චෝදනා කරන්නේ.

බීබීසී සංදේශය වෙනුවෙන් මේ පිළිබඳව විමසීමක් කිරීම සඳහා එම ප්‍රදේශයට ගිය අප වාර්තාකරු ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න කියා සිටියේ පහත් බිම් ගොඩ කරමින් සිටින ආකාරය තමන්ට ද දැක දන්නට ලැබුණු බවයි.

පාරිසරික විනාශයන් සිදුවන අවස්ථාවල දී නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන ගැටළු පවතින බවයි දෑලතුර සුරැකීමේ සංවිධානයේ ලේකම් ජූඩ් පෙරේරා බීබීසීයට කියා සිටියේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පහත් බිම් ගොඩ කිරීම ජනාධිපතිවරයා විසින් තහනම් කරනු ලැබ තිබිය දී එම ප්‍රදේශයේ කර ගෙන යන එක් ව්‍යාපෘතියකට පමණක් විශේෂ වරප්‍රසාදයක් හිමි වී ඇත්තේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.