'හැඹිලි දැල් නිසා ධීවර කර්මාන්තය අනතුරේ'

  • 2016 ඔක්තෝබර් 2
ධීවර කටයුතු වලින් වැලකි සිට නිහඩ විරෝධතාවක නිරත වූ කල්පිටිය ධීවර ජනතාව
Image caption ධීවර කටයුතු වලින් වැලකි සිට නිහඩ විරෝධතාවක නිරත වූ කල්පිටිය ධීවර ජනතාව

රජය විසින් ලබා දෙන ලද බලපත්‍ර පනස් තුනක් උපයෝගී කර ගනිමින් නීති විරෝධි ලෙස මසුන් මැරීම හේතුවෙන් අනෙකුත් සියලුම ධීවර කර්මාන්තයන් කර ගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇති බව කල්පිටිය ධිවර සංවිධාන පවසති.

ඉරිදා ධීවර කටයුතු වලින් වැලකි සිට නිහඩ විරෝධතාවක නිරත වූ කල්පිටිය ධීවර ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ ඉහත කී නීති විරෝධී පන්න බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙසයි.

විරෝධය පළ කිරීමක් වශයෙන් කල්පිටිය ප්‍රදේශයේ ධීවර යාත්‍රාවල මෙන්ම ධිවර තොටුපළවල් වලද කළු කොඩි ඔසවා තිබූ බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.

පසුගිය වසරේදී එල්ල වූ ජනතා විරෝධය හමුවේ නීති විරෝධි පන්න ක්‍රම වන 'ලයිලා හා සුරුක්කු පන්න' ක්‍රම සඳහා රජය විසින් ලබා දී තිබූ බලපත්‍ර අහෝසි කළත් 'හැඹිලි දැල්' යන නම යොදා ගනිමින් නැවතත් ඉහත කී තහනම් පන්න ක්‍රමයටම මසුන් මරණ බව කල්පිටිය කන්දකුලිය ආවේ මරියා ධිවර සමිතියේ සභාපති නිල් සුදත් පැවසීය.

වේලක්කන්නි මාතා ධීවර කාන්තා සමිතියේ සභාපතිනි උදේනි චම්පිකා කියා සිටියේ 'හැඹිලි දැල් පන්න' ක්‍රමය සමස්ත ධීවර කර්මාන්තයටම බලපා ඇති බවයි .

'හැඹිලි දැල්' යොදා ගන්නා මසුන් මරන්නන් විසින් ඩයිනමයිට් හා ටැංකි භාවිතා කිරීම හේතුවෙන් මුහුදු ජලජ පරිසර පද්ධතිය විනාශ වී මාළු බෝවීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවද ඇය සඳහන් කළාය.

සුළුතරයක්ගේ අභිවෘද්ධිය පිළිබඳ අවධානය යොමු කරමින් බහුතර ධීවර ජනතාව නොසලකා හරින්නේ ඇයිදැයි කල්පිටිය ධීවර ප්‍රජාව රජයෙන් ප්‍රශ්න කරති.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා ප්‍රකාශ කළේ රජය විසින් ලබා දී ඇති බලපත්‍ර උපයෝගී කර ගනිමින් නීති විරෝධී ලෙස මසුන් මරණ බවට තමන්ටද පැමිණිලි ලැබී ඇති බවයි.

අදාළ සියලු පන්න ක්‍රම නීති විරෝධී බැවින් බලපත්‍ර අහෝසි කරන මෙන් තමන් ද රජයෙන් ඉල්ලා සිටින බව වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්