උතුරේ සිද්ධස්ථාන: විග්නේශ්වරන්ගෙන් ඉල්ලීමක්

Image copyright Getty/ LAKRUWAN WANNIARACHCHI
Image caption ''මගේ ඒ ප්‍රකාශය නිවැරදි ලෙස පරිවර්තනය කරලා තේරුම් අරගෙන විවේචනය කරන්න කියලා ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා''

ආගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් තමා විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශයක් දකුණේ ජනතාව වරදවා තේරුම් ගෙන ඇති බව උතුරු පළාතේ මහඇමති සීවී විග්නේශ්වරන් පවසයි.

මහ ඇමතිවරයා ඒ බව කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගනයේ පැවති හතළිස් දෙවැනි ජාතික මහා ක්‍රීඩා උත්සවයේ සමාප්ති උළෙල අමතමිනි.

යම් කිසි ප්‍රදේශයක් තුළ ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට පෙර අදාළ පළාතේ පාලන අධිකාරිවලින් අවසර ලබා ගත යුතු බවට ශ්‍රී ලංකාවේ නීතියක් පවතින නමුත් හමුදාවේ සහාය ඇතිව අත්තනෝමතික ලෙස පෞද්ගලික ඉඩම් තුළ බලහත්කාරයෙන් එවැනි ඉදිකිරීම් සිදුකරන්නේ යයි උතුරේ ජනතාව ප්‍රශ්න කරන්නේය යන්න තමා එදා කළ ප්‍රකාශය බවයි මහ ඇමතිවරයා පවසන්නේ.

"එම ප්‍රකාශයේ වැරද්දක් ඇති බව මම හිතන්නේ නැහැ. ඒ නිසා මගේ ඒ ප්‍රකාශය නිවැරදි ලෙස පරිවර්තනය කරලා තේරුම් අරගෙන විවේචනය කරන්න කියලා ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා," උතුරු පළාත් මහඇමති සීවී විග්නේශ්වරන් වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික මහා ක්‍රීඩා උත්සවයේ ජයග්‍රහණ ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ත්‍යාග බෙදා දීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂනායක ආර් සම්බන්ධන්, මහ ඇමති විග්නේශ්වරන් ඇතුළු අමාත්‍යවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර