පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් අධිකරණයේ දී ප්‍රශ්ණ කළ නොහැකියි - නීතිපති

  • 2016 ඔක්තෝබර් 4
Image caption අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ අත පෙවීමක් සිදුවන බවයි පෙත්සම්කරු කියා සිටින්නේ

මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සභා ගැබ තුළ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක තර්ක කළ නොහැකි බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකින් සිය මූලික අයිතීන් කඩවී ඇති බවට තීන්දුවක් දෙන මෙන් ඉල්ලා නීතිවේදී දර්ශන වෙරදුවගේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කළ රජයේ නීතිවේදියා මේ බව ප්‍රකාශ කළේය.

පෙත්සම්කරු පවසන්නේ ඉකුත් ජුලි මස 07 වනදා පාර්ලිමේතුවේ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශිත සින්ගරාසා නඩු තීන්දුව ප්‍රතික්ෂේප කිරීමේ තීන්දුවක් දෙන මෙන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

මේ ප්‍රකාශය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ අත පෙවීමක් සිදුවන බව කියා සිටි පෙත්සම්කරු මේ තුළින් සිය මූලික අයිතීන් කඩවන බවට තීන්දුවක් දෙන මෙන් ඉල්ලා සිටියේය.

පෙත්සමට අදාලව මුලික විරෝධතාවක් මතුකළ රජයේ නීතිවේදියා පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව තුළ කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක ප්‍රශ්ණ කළ නොහැකි බවයි කියා සිටියේ.

මේ හේතුවෙන් පෙත්සම සලකා බැලීමට අධිකරණයට බලයක් නොමැති බැවින් එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙසයි රජයේ නීතිවේදීන් ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැත්ද යන තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්