කටුනායක අකුරට වැඩ තාවකාලිකව අවසන්

Image copyright Getty Images
Image caption වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන් සිය ගණනක් ප්‍රමාද වී තිබේ

සතියක් ඇතුලත සිය ගැටලුවලට විසඳුමක් ලබා දෙන බවට අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රතිඥා දීමෙන් අනතුරුව සිය අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාදාමය නිමාවට පත් කිරීමට තීරණය කළ බව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් පාලකවරු පවසති.

එම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දින දෙකක් මුළුල්ලේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ බොහෝ කටයුතු අඩපණ වී තිබිණ.

විශේෂයෙන්ම ගුවන් ගමන් සිය ගණනක් ප්‍රමාද වී ආරම්භ වූ බවයි, ගුවන් තොටුපොල වාර්තාකරු ටීකේජී කපිල බීබීසී සංදේශයට කියා සිටියේ.

එහි ප්‍රතිඵලයක් ලෙසින් මගීන් බරපතල දුෂ්කරතාවයන්ට මුහුණ දුන්හ.

ගුවන් ගමන් පාලකවරුන්ගේ වෘත්තීය සමිතිය මෙම ක්‍රියාමාර්ගයට එළඹ තිබෙන්නේ වැටුප් විෂමතාවයක් හේතුවෙන්.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් අවසානයේ බීබීසී සංදේශය සමඟ අදහස් දැක් වූ වෘත්තීය සමිතියේ සභාපති තිසර අමරනන්ද, ඇමතිවරයා සහ ලේකම්වරයාගේ ඉල්ලීම ප්‍රකාර සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට සංගමය සූදානම් බව පැවසීය.

වෘත්තිකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින විෂමතා සියල්ල සංවර්ධන සහ පරිපාලන ආයතනයට යොමු කර විසඳුමක් ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබුණු අතරවාරයේ, තවත් සවකයන් පිරිසකගේ දීමනා වැඩි කිරීම මේ ගැටලුවට ආසන්නතම හේතුව බවත් ඔහු සඳහන් කළේ සංදේශයේ තිසර රතුවිතාන සමඟ අදහස් දක්වමින්.

ආණ්ඩුව පොරොන්දු ඉටු නොකරන්නේ නම් දිගටම වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට සංගමය නොපැකිලෙන බවත් ඔහු පැවසීය.