ගුරු සහායකයන් බාල්දු කරලා -ලංකා ගුරු සංගමය

Image caption ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්

ගුරු සහායකයන් ගේ වැටුප රුපියල් දහ දාහකින් වැඩි කරන ලෙසත් ඔවුන් ස්ථිර කරන ලෙසත් ඉල්ලා ලංකා ගුරු සංගමය වීදි විරෝධතාවක් දියත් කරයි.

ලෝක ගුරු දිනය සැමරෙද්දී ගුරු සහායකයෝ කොළඹ හයිඩ් පිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පෙළපාලියේ පැමිණියහ.

මේ පිළිබඳව කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් බීබීසීයට කියා සිටියේ ගුරු සහායකයන් බාල්දු කර ඇති බවයි.

'ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙන්නේ නුපුහුණු ගුරුවරු, ගුරු සේවයේ තුනේ දෙක පන්තියේ ඉන්න ඕන කියල. තුනේ දෙක පන්තිය වෙනුවට මේ අය ගුරු සහායක ලෙස දාලා තත්වය බාල්දු කරලා රුපියල් හයදාහක දීමනාවකට මේ අය තියාගෙන ඉන්නේ. මේ අයව තුනේ දෙක සේවයට ඇතුලත් කරන්න, එතෙක් මේ අයගේ දීමනාව රුපියල් දහ දාහකින් වැඩි කරන්න. එකයි අපේ ඉල්ලීම.' බීබීසීයේ සරෝජ් පතිරණ සමඟ ඔහු පැවසීය.

'කඩවුණු පොරොන්දුව'

'අපි හයවෙනි මාසේ 28 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් කළා පා ගමනක් ගිහිල්ලා. එදා අධ්‍යාපන ඇමතිවරයා කිව්වා මේක කැබිනට් පත්‍රිකාවක් දාල විසඳනවා කියල. අපි කිව්වා එහෙම නොවුනොත් ලෝක ගුරු දිනය දා අපි පාරට එනවා කියල. නමුත් ඒ ගොල්ලෝ විසඳුවේ නෑ. අපි පාරට ඇවිල්ල ඉන්නවා.' ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් තවදුරටත් කියා සිටියේය.

ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පාසල්වලට බලතල ලබා දෙන බවට අධ්‍යාපන ඇමතිවරයා කර ඇති ප්‍රකාශය පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ ලංකා ගුරු සංගමය ඊට විරෝධය පළ කරන බවයි.

'ඒක වැරදියි. නිදහස් අධ්‍යාපනය 1943 දිනාගෙන තියෙන්නේ මොකටද? 1969 පෞද්ගලික පාසල් පවරා ගත්තේ ඇයි? නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න, විෂමතාවය නැති කරන්න, සමානාත්මතාවය ඇති කරන්න. එහෙම කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. එක වැරදි තීරණයක්.' ඔහු ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර